
සැගවුනු නගරය සොයා පොලොන්නරුවේ මහ කැණීමක්...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මෙම සුවිශේෂී පර්යේෂණ වැඩසටහන ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් (La Trobe) විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබයි. මේ සඳහා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, යාපනය විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සිය පූර්ණ සහයෝගය ලබා දෙයි. වනාන්තර තුළ සැඟවී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන හඳුනාගැනීම සඳහා මෙහිදී නවීන තාක්ෂණික ක්‍රමවේද රැසක් භාවිත කෙරේ. ඒ අනුව, පියවි ඇසට නොපෙනෙන ස්ථාන හඳුනාගැනීමට ලයිඩාර් තාක්ෂණය ද, පොළොව යට පරීක්ෂා කළ හැකි ජී.පී.ආර්. වැනි භෞතික විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේද ද යොදා ගැනේ. මීට අමතරව සාම්ප්‍රදායික කැණීම් මෙන්ම මගර් කැණීම් ක්‍රමවේද ද භාවිත කරන බව වාර්තා වේ. වත්මන් පර්යේෂණ යටතේ ප්‍රධාන ස්ථාන දෙකක් කෙරෙහි අවධානය යොමු කර ඇත. ඉන් පළමුවැන්න පොළොන්නරුව ඇතුළු නගරයේ සිට කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටි නැගෙනහිර ප්‍රදේශයයි. එහි පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 70-80ක් පමණ උසැති ගොඩැලි 20-30ක් පමණ නිරීක්ෂණය වී ඇති අතර, ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම සහ ඒවායේ අතීත සම්බන්ධතාවන් හෙළි කරගැනීම සඳහා කැණීම් ආරම්භ කර ඇත. දෙවන ස්ථානය ලෙස ශිව දේවාලය පිටුපස ප්‍රදේශය තෝරාගෙන ඇති අතර, එහිදී අනුරාධපුර යුගයේ අවසාන භාගයේ (ක්‍රි.ව. 9 වන සියවස) තොරතුරු සහ ප්‍රාකාර බැම්ම අසල දොරටුව පිළිබඳව ගවේෂණය කෙරේ. මෙම පර්යේෂණය මගින් සංස්කෘතික ස්ථරවල ගැඹුර මැන බැලීම සහ විද්‍යාත්මක කාල නිර්ණයන් ලබා ගැනීමට අපේක්ෂිතය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ, මෙම නවීන පර්යේෂණ ඔස්සේ පොළොන්නරුව රාජධානියේ නාගරීකරණයේ සැබෑ ස්වරූපය සහ එය හදිසියේ බිඳ වැටීමට බලපෑ සාධක රැසක් ඉදිරියේදී අනාවරණය වනු ඇති බවයි.
Google AdSense
In-Article Ad

