FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ 190,000ක් ගෙන්වූ NMRA සභාපති වහා ඉවත් කරන්නැයි කියයි...

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව අනාවරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය: "ළමා පිළිකා රෝගීන් ඇතුළු සියලුම පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාරවලින් අනතුරුව ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ලබාදෙන 'G-CSF' (G CSF Injection) නැමැති අත්‍යවශ්‍ය ඖෂධය මෙරටට ආනයනය කිරීමෙන් පසු, එහි නියමිත ප්‍රමිතිගත ලේබලය නොමැති බව පවසමින් මේ දක්වා භාවිතයට නොගෙන පසෙක තබා තිබෙනවා. මෙම එන්නත් තොගය ගැටලු සහගත නම්, රුපියල් මිලියන 250ක් වටිනා එම ඖෂධ මාත්‍රා 190,000 රේගුවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නේ කවුරුන්ද යන්න ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා රටට හෙළි කළ යුතුයි. එමෙන්ම ඖෂධ නියාමන අධිකාරිය මේ සම්බන්ධයෙන් තොරතුරු වසන් කරන්නේ ඇයිද යන්නත් අප ප්‍රශ්න කරනවා. මෙරටට ආනයනය කරනු ලබන සෑම ඖෂධයක්ම රේගුවෙන් නිදහස් කිරීමට ප්‍රථම ඊට අදාළ නිස්කාශන වාර්‍තා, රසායනාගාර විශ්ලේෂණ වාර්‍තා සහ අවසර පත්‍ර නිකුත් කිරීමේ පූර්‍ණ බලය පවතින්නේ ඖෂධ නියාමන අධිකාරිය සතුවයි. ඖෂධයක ලියාපදිංචි සහතිකය, ප්‍රමිති සහතික, විශ්ලේෂණ වාර්‍තා, ආනයන පාලන බලපත්‍ර, මිල සහතික මෙන්ම ලේබල් හා ඇසුරුම් සහතික NMRA අනුමැතියකින් තොරව නිකුත් කළ නොහැකි නෛතික ක්‍රමවේදයක් පවතින පසුබිමක, මෙවැනි ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මෙරටට පැමිණීමේ වගකීමෙන් ඖෂධ නියාමන අධිකාරියටත්, එය ආනයනය කළ රාජ්‍ය ඖෂධ සංස්ථාවටත් කිසිසේත්ම බැහැර විය නොහැකියි. එහෙත් අවාසනාවකට වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් මේ වන විටත් සැඟවී සිටිමින් පිළිකා රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටිනවා." විෂයභාර අමාත්‍යවරුන් ද මෙම බරපතළ වංචාව සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටින බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පිළිකා රෝගීන්ට නියමිත මාත්‍රාවලින් අඛණ්ඩව ඖෂධ ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව අදාළ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් පවා පෙන්වා දෙන බවත් හෙතෙම සඳහන් කළේය. රෝහල් පද්ධතිය තුළ පවතින පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික ඖෂධසල්වල එම ඖෂධවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් අවස්ථාවල නිසි පරිදි ලියාපදිංචි නොකළ ඖෂධ පවා වෙළඳපොළේ අලෙවි වන බවද ඒ මහතා අනාවරණය කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති මානව සම්පත් අර්‍බුදය පිළිබඳව කරුණු පැහැදිලි කළ වෛද්‍ය චමල් සංජීව මහතා, දැනට පවතින වෛද්‍යවරුන්ගේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය සමස්ත සෞඛ්‍ය පද්ධතියටම දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පෙන්වා දුන්නේය. පවතින බදු ප්‍රතිපත්ති සහ වැටුප් විෂමතා මත නවක වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට එක්වීමට දක්වන මැලිකම හේතුවෙන් තරුණ වෛද්‍යවරුන් විදෙස්ගත වීමේ ප්‍රවණතාව තවදුරටත් ඉහළ යමින් පවතී. අවම වශයෙන් මෙරට සෞඛ්‍ය සේවාව නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 5,000කගේ සහ සාමාන්‍ය වෛද්‍යවරුන් 30,000කගේ පමණ සක්‍රීය සේවයක් අවශ්‍ය වුවද, අදාළ පුරප්පාඩු සඳහා අවශ්‍ය කාර්‍ය මණ්ඩල අනුමත කිරීම මහා භාණ්ඩාගාරය මඟින් අඛණ්ඩව ප්‍රමාද කිරීම බරපතළ අර්‍බුද රැසකට මඟපාදා ඇති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Google AdSense

In-Article Ad