
ශ්රී ලංකාව ක්රිකට් ලොව හොල්ලන හඹායාමක... ලකුණු 430ක් පන්නා ගොස් දිනයි..
FM Heart · 2 min read
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 429ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. එංගලන්ත ඉනිම වෙනුවෙන් විශිෂ්ට නායකත්වයේ ඉනිමක් දියත් කළ හැරී බෲක් පන්දු 116ක් තුළ හතරේ පහර 21ක් සහ හයේ පහර 10ක් එල්ල කරමින් ලකුණු 202ක ද්විත්ව ශතකයක් වාර්තා කළේය. ඊට අමතරව ජෝ රූට් ලකුණු 69ක් ද, ඉනිම අගභාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ විල් ජැක්ස් පන්දු 30කින් නොදැවී ලකුණු 66ක් ද, ටොම් බැන්ටන් ලකුණු 50ක් ද රැස් කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළහ. පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු අතර කඩුලු 2ක් දවාලීමට සමත් විය. ලකුණු 430ක අතිශය දුෂ්කර ඉලක්කයක් හමුවේ පිළිතුරු ඉනිම ඇරඹූ ශ්රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යාම ඇතුළුව මුල්පෙළ කඩුලු දෙකක් ලකුණු 30ක් තුළ බිඳ වැටුණ ද, අනතුරුව පිටියේ එක්වූ අවිශ්ක ප්රනාන්දු සහ පවන් රත්නායක ශ්රී ලංකා ඉනිම සවිමත් කළහ. එංගලන්ත පන්දු යවන්නන්ට නිර්දය ලෙස පහරදුන් පවන් රත්නායක පන්දු 106කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් අනර්ඝ ලකුණු 130ක් රැස් කළ අතර, අනගි සහයක් දුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්රනාන්දු පන්දු 83කින් ලකුණු 97ක් රැස් කළේය. අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක ප්රතිවාදී පන්දු යවන්නන් මුළුමනින්ම අඩපණ කරමින් පන්දු 50කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 97ක් ලබා ගනිමින් ජයග්රාහී මාවත සකස් කළේය. තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාර කිහිපයේදී පීඩනය හමුවේ නොසැලී ක්රීඩා කළ ජනිත් ලියනගේ පන්දු 27කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා ගනිමින් පන්දුවාර 49.5කදී (පන්දු 1ක් ඉතිරිව තිබියදී) ශ්රී ලංකා කණ්ඩායමේ ඓතිහාසික ජය තහවුරු කළේය. ශ්රී ලංකා ඉනිම අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 430ක් ලෙස සටහන් විය. ජාත්යන්තර එක්දින ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගොස් වාර්තා කළ සාර්ථකම සහ දෙවන වැඩිම ලකුණු සංඛ්යාව මෙම තරගය වන අතර, මෙම ජයග්රහණයත් සමඟ ශ්රී ලංකා කණ්ඩායම තුන්කොන් තරගාවලිය තුළ සිය පිබිදීම ප්රදර්ශනය කර තිබේ.

