
‘මහර ගැටුම එළියෙන් මෙහෙයවූ කුමන්ත‍්‍රණයක් වගේ..- අධිකරණ ඇමති
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
අමාත්‍යවරයා සඳහන් කළේ, මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය මීගමුව බන්ධනාගාරයේ සිදුවීමට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බවයි. බන්ධනාගාර පරිපාලනය සමඟ රැඳවියන් ගැටුම් ඇති කර ගැනීම කෙරෙහි රජය ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ ද බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි වීමත් සමඟ බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම සීමා වීම මෙවැනි නොසන්සුන්තා ඇති වීමට එක් හේතුවක් විය හැකි බව අමාත්‍යවරයාගේ අදහසයි. බන්ධනාගාර තදබදය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, දැනට බන්ධනාගාරගතව සිටින 40,000ක් පමණ වන පිරිසෙන් 30,000ක්ම රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අය බවත්, ඉන් 23,000ක්ම මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රඳවා සිටින අය බවත් අනාවරණය කළේය. මෙම තදබදය අවම කිරීම සඳහා රජය විසින් බන්ධනාගාරවල භෞතික ඉඩකඩ පුළුල් කිරීමට අමතරව නීතිමය සංශෝධන ද හඳුන්වා දීමට නියමිතය. විශේෂයෙන්ම, රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා ඇප ලබා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100කට වඩා අඩු ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට මහාධිකරණය හරහා ඇප ලබා ගත හැකි වන පරිදි විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. නීතිය මගින් පමණක් මත්ද්‍රව්‍ය උවදුර පාලනය කළ නොහැකි බව අවධාරණය කළ අමාත්‍යවරයා, සමාජයීය වශයෙන් ද මේ සඳහා විසඳුම් සෙවිය යුතු බව පෙන්වා දුන්නේය. ඇතැම් සේවා ස්ථානවල සේවකයින්ට වැටුප් වෙනුවට 'අයිස්' මත්ද්‍රව්‍ය ලබා දෙන තත්ත්වයක් පවතින බවත්, එවැනි සමාජ වටපිටාවක මත්ද්‍රව්‍ය ඉල්ලුම පාලනය කිරීම සඳහා පුළුල් සමාජ ක්‍රියාකාරකම් අවශ්‍ය බවත් ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

