FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

යුද බිය නිසා බොර තෙල් බැරලයක් ඩොලර් 116 ඉක්මවයි...

FM Heart · 2 min read

The Heart Academy
ජාත්‍යන්තර වෙළඳපොළ දත්තවලට අනුව, ගෝලීය මිණුම්දණ්ඩක් වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී ඩොලර් 116.72ක් දක්වා සියයට 3.14කින් ඉහළ ගිය අතර, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල් මිල ද සියයට 3.82කින් ඉහළ ගොස් ඩොලර් 103.27ක් ලෙස සටහන් විය. මීට අමතරව, ඕපෙක් (OPEC) තෙල් කූඩයේ මිල ඩොලර් 115.09ක් ලෙසත්, මර්‍බන් (Murban) බොරතෙල් මිල ඩොලර් 118.00ක් සහ ඉන්දීය තෙල් කූඩයේ මිල ඩොලර් 119.99ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. රුසියානු යූරල් (Urals) බොරතෙල් මිල ද ඩොලර් 106.24 දක්වා ඉහළ ගොස් ඇති අතර, ස්වභාවික වායු (Natural Gas) මිල සියයට 5.58කින් පහත වැටී ඇත. වෙළඳපොළේ තෙල් මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වී තෙල් සැපයුම මුළුමනින්ම ඇනහිටිනු ඇතැයි ආයෝජකයන් තුළ පවතින බිය හේතුවෙනි. එහෙත් සැබෑ භෞතික තෙල් වෙළඳපොළේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව වෙළෙඳුන් උපුටා දක්වමින් බ්ලූම්බර්‍ග් පුවත් සේවය පෙන්වා දෙයි. ඉරාකය සහ ඕමානය වැනි රටවලින් ලබාගන්නා ඇතැම් බොරතෙල් වර්‍ග, ඩුබායි මිණුම්දණ්ඩට (Dubai Benchmark - $110.50) වඩා විශාල වට්ටම් (Discounts) සහිතව අලෙවි කිරීමට සිදුව තිබේ. නිදසුනක් ලෙස, මීට මසකට පෙර ඩුබායි මිලට සමානව අලෙවි වූ ඉරාකයේ ‘බස්‍රා මීඩියම්’ (Basrah Medium) බොරතෙල් බැරලයක්, මේ වන විට ඩුබායි මිණුම්දණ්ඩට වඩා ඩොලර් 10ක දැවැන්ත වට්ටමක් සහිතව අලෙවි වන බව වාර්‍තා වේ. එමෙන්ම ඩුබායි මිලට සාපේක්ෂව ඕමාන් බොරතෙල් සඳහා අය කළ අධිභාරය පසුගිය ජූලි මස අග භාගයෙන් පසු වාර්‍තා වූ අවම මට්ටම දක්වා කඩා වැටී ඇත. භෞතික තෙල් මිල මෙලෙස පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, පර්‍සියානු ගල්ෆ් කලාපයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන තෙල් ප්‍රවාහනය අඩාල නොවී අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමයි. මැදපෙරදිග තෙල් නිෂ්පාදකයන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා කෙටි දුර ප්‍රවාහන නෞකා වේගවත් කර ඇති අතර, ඕමාන් මුහුදු තීරයේදී නෞකාවකින් තවත් නෞකාවකට තෙල් මාරු කිරීමේ ක්‍රමවේදය ඔස්සේ ආසියානු ගැණුම්කරුවන්ට තරගකාරී අඩු මිලකට තෙල් ලබාදීමට පියවර ගෙන තිබේ. පසුගිය මාර්‍තු මාසයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය වැසී යාමේ අවදානම හමුවේ ඕමාන්-ඩුබායි තෙල් මිල පරතරය ඩොලර් 65 දක්වා අහස උසට නැගුණු නමුත්, සැපයුම් යථා තත්ත්වයට පත්වීමත් සමඟ මේ වන විට භෞතික තෙල් සැපයුම ඉල්ලුමට වඩා ඉහළ ගොස් මිල පහළ වැටෙමින් පවතී.
99mobile