
සංජීව ඝාතනයේ 28 වැනි සැකකාර ලෝයර් නෝනාගේ ඇප ඉල්ලීම ගැන නියෝගය දෙසැ. 03
FM Heart · 2 min read
ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු යැයි කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 28 වන සැකකාරිය ලෙස නම්කර සිටින නීතිඥ තමාරා කුමාරි අබේරත්න මහත්මිය වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන දෙසැම්බර් 03 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රුවන් ධම්මික දිසානායක මහතා දින නියම කළේය. දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය සමග කියවිය යුතු 113, 102, 199, 206 හා 402 යන වගන්ති හා තුවක්කු ආඥා පනතේ මෙන්ම පීඩාකාරී ආයුධ පනතේත් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ වගන්ති ප්‍රකාරව ගැනෙන වරදවල් සිදුකර ඇතැයි චෝදනා කරමින් බී 39368/1/25 දරන නඩුවට අදාළව ඇය රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා අධිකරණයට පැවැසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025.10.28 වැනිදා අත්අඩංගුවට ගත් එම සැකකාරිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කර විමර්ශනය සිදු කළේ කෝරළ ගමගේ මන්දීහු පත්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පත්මේ යන සංවිධානාත්මක අපරාධකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී 57990/1/25 දරන නඩුවට අදාළව බවත් පසුව මෙම ඇප අයැදුමට අදාළ නඩුවේ සැකකාරියක ලෙස කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඇය නම් කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. බී 57990 දරන නඩුව සම්බන්ධයෙන් සැකකාර නීතිඥවරියට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන ප්‍රමාණවත් සාක්ෂිමය කරුණු අනාවරණය නොවන බැවින් එම නඩුව සම්බන්ධයෙන් ඇයට එරෙහිව නෛතික ක්‍රියාමර්ග නොගන්නා බවට විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම අනුව මහෙස්ත්‍රාත් අධිකරණය සැකකාරිය එම නඩුවෙන් මුදාහැර ඇති බවත් ඇයට එරෙහිව තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා ඉවත් කර ඇති බවත් ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සිය සේවාදායිකාවට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා ඉවත් කර ඇති බැවින් හා සැකකාරිය අත්අඩංගුවට ගෙන වසරක කාලයක් ගෙවී ගොස් ඇති බැවින් හා නඩුවේ වෙනත් සාක්ෂිකරුවන්ගෙන් අනාවරණය වූවා යැයි කියනු ලබන සාක්ෂි මිස වෙනත් සාක්ෂි කිසිවක් නොමැති බැවින් ඇය ඇප මත මුදාහැරීමට නෛතික බාධාවක් නොමැති බවද නීතිඥ සනුරි දිසානායක මහත්මියගේ උපදෙස් මත ගොනුකර තිබූ එම ඇප අයැදුම්පත සම්බන්ධයෙන් නීතිඥ ප්‍රදීපා කලුආරච්චි මහත්මිය සමග පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවැසීය. ඒ. ජේ. ඒ. අබේනායක

