
පාතාල මර්‍දන රාජකාරියට යද්දී මිදිගමදී ජිජ් රිය දුම්‍රියේ ගැටී STF 4කට තුවාල
FM Heart · 2 min read
දෙදෙනකුට බරපතළයි පාතාල මර්‍දන රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්‍ය බළකායේ නිලධාරීන් ගමන් ගත් ජීප් රථයක් වැලිගම මිදිගම ගුරුබැවිල දුම්‍රිය හරස් මාර්‍ගයේදී ඊයේ (23 වැනිදා) පෙරවරුවේ දුම්‍රියක ගැටීමෙන් විශේෂ කාර්‍ය බළකා නිලධාරීන් සිව්දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙහිදී අනතුරට ලක්වූ නිලධාරීන් සිව්දෙනකුගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්‍ග පැවසීය. තුවාල ලැබූ නිලධාරීහු මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. තුවාල ලැබූ නිලධාරීන් සිව්දෙනාම පාතාල මර්‍දන රාජකාරි සඳහා විවිධ ප්‍රදේශවලින් මිදිගමට පැමිණ සිටි අය බව පොලිස් ආරංචිමාර්‍ග පැවසීය. මෙම නිලධාරීන් සිව්දෙනා ජීප් රථයේ නැගී රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටියදී ඊයේ උදෑසන 7.45ට පමණ මෙම අනතුරට මුහුණ දී ඇත. ගාල්ලේ සිට මාතර බලා ධාවනය වූ දුම්‍රියක් මිදිගම ගුරුබැවිල දුම්‍රිය හරස් මාර්‍ගය හරහා ධාවනය වූ ජීප් රථයේ ගැටී ඇත. ජීප් රථයේ පිටුපස කොටස දුම්‍රියේ වැදී එය පසෙකට විසිවී ගොස් ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් එහි සිරවී සිටි නිලධාරීන් පිරිස දැඩි වෙහෙසක් දරා පිටතට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ. මෙම දුම්‍රිය හරස් මාර්‍ගයේ දුම්‍රිය සංඥා පුවරුවක් පැවැති අතර එහි ගේට්ටුවක් තිබී නැත. අනතුර ඇසින් දුටු ප්‍රදේශවාසී කාන්තාවක කියා සිටියේ දුම්‍රිය හරස් මාර්‍ගයේ අනතුරු සංඥා නාද වෙද්දී එය නොතකා ජීප් රථය ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු වූ බවයි. වැලිගම පොලිසිය වැඩිදුර විමර්‍ශන පවත්වාගෙන යයි. හේමන්ත රන්දුණු, ලලිත් පද්මසිරි

