FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඩීසල් 45%කින්, පෙට‍්‍රල් 30%කින් මිල ගිහින්... තීරණයක් ගන්න ජනපති හමුවෙනවා - සිපෙට්කෝ සභාපති

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ලෝක තෙල් වෙළඳපොළේ ඇති වී තිබෙන අස්ථාවරත්වය සහ ඉන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හදිසි හමුවක් ඉල්ලා ඇත. ලෝක වෙළඳපොළේ පවතින මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට අයහපත් බව පවසන ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පවතින අයහපත් ප්‍රවණතාව පිළිබඳව මහජනතාව දැනුවත් විය යුතු බව අවධාරණය කර තිබේ. මේ මස ආරම්භයේ පැවති මිල ගණන් හා සසඳන විට ඩීසල් මිල සියයට 45 කින් සහ පෙට්‍රල් මිල සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, බොරතෙල් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ඔහු පෙන්වා දෙයි. සම්පූර්ණයෙන්ම ඉන්ධන ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටකට මෙම තත්ත්වය දරා ගැනීම දුෂ්කර වනු ඇත. "අපි ජනාධිපතිවරයා සමඟ හමුවක් ඉල්ලා තිබෙන්නේ පවතින තත්ත්වය පාලනය කිරීමට ගත යුතු නව ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමටයි. දැනට පවතින තත්ත්වය අනුව ඉන්ධන පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා," යැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. මීට අමතරව, පවතින වියළි කාලගුණය නිසා ජල විදුලි උත්පාදන ධාරිතාව පහත වැටී ඇති අතර, එමඟින් විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඉල්ලුම තවදුරටත් ඉහළ ගොස් ඇති බව රාජකරුණා මහතා පවසයි. ප්‍රමාණවත් පරිදි ජල විදුලිය නිපදවීමට නොහැකි වීම නිසා විදුලිය ලබා දීම සඳහා සංස්ථාව සතු ඉන්ධන තොග වැඩි වශයෙන් මුදා හැරීමට සිදුවීම තවත් බරපතළ අභියෝගයක් බව ඔහු පෙන්වා දී තිබේ.

Google AdSense

In-Article Ad