
කොළඹ කොටස් හොල්ලමින් ‘Hela Apparel’ වසා දමයි.. Calvin Klein, Tommy Hilfiger, Michael Kors, NEXT, Tesco මහන්නේ ඔවුන්..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක් වන හෙලා ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Hela Apparel Holdings PLC) සහ එහි ප්‍රධාන අනුබද්ධ සමාගම් වසා දැමීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. පවතින දැඩි මූල්‍ය අර්බුදය සහ ද්‍රවශීලතා ගැටලු හේතුවෙන් සමාගම තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වීම මෙම තීරණයට හේතු වී ඇති බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. සමාගමේ මූල්‍ය තත්ත්වය, වත්කම්, බැරකම් සහ මෙහෙයුම් කාර්යසාධනය පිළිබඳව සිදුකළ දීර්ඝ සමාලෝචනයකින් අනතුරුව, හෙලා ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී මෙන්ම එහි අනුබද්ධිත හෙලා ක්ලෝතින් (පුද්ගලික) සමාගම සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් (පුද්ගලික) සමාගම යන ආයතනවලට සිය ණය ගෙවීමට නොහැකි මට්ටමක පවතින බව අධ්‍යක්ෂ මණ්ඩලය නිගමනය කර තිබේ. ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව අධිකරණ නියෝගයක් මත සමාගම වසා දැමීම සඳහා වන අයදුම්පතක් 2026 අගෝස්තු 05 වන දින බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. සමාගම සුරක්ෂිත කර ගැනීම සඳහා මීට පෙර අවස්ථාවලදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ උපායමාර්ගික ආයෝජන වැනි විකල්ප ක්‍රියාමාර්ග රැසක් අත්හදා බැලූ බවත්, එම සියලු උත්සාහයන් අසාර්ථක වීම හෝ වාණිජමය වශයෙන් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි වීම හේතුවෙන් ණය හිමියන්, සේවකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ට සිදුවන හානිය අවම කරනු පිණිස මෙම තීරණය ගත් බවත් අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකාව මූලස්ථානය කරගනිමින් ඇඟලුම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියක් අත්කරගෙන සිටින හේලා ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Hela Apparel Holdings PLC) සමාගම, වර්තමානය වන විට ලොව ප්‍රමුඛතම බහුජාතික ඇඟලුම් නිෂ්පාදන ජාලයක් ලෙස සිය ආධිපත්‍යය තහවුරු කරගෙන සිටියි. තිරසාර සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියක් පෙරදැරි කරගත් මෙම සමාගම, ආසියානු සහ අප්‍රිකානු කලාපයන් ආවරණය වන පරිදි සිය මෙහෙයුම් ජාලය පුළුල් කර ඇත. ලෝකයේ ඉහළම ප්‍රසාදයක් දිනා සිටින Calvin Klein, Tommy Hilfiger, Michael Kors, NEXT සහ Tesco වැනි ප්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාම රැසක් සඳහා නිෂ්පාදන සපයන ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස හේලා ඇපරල් කටයුතු කරයි. මීට අමතරව VF Corporation සහ Focus Brands යටතේ පවතින Ellesse සහ Nautica වැනි ක්‍රීඩා සහ ජීවන රටා සන්නාමයන් සඳහා ද ඔවුන් නිෂ්පාදන සපයනු ලබයි. විශේෂයෙන්ම යටඇඳුම් (Intimate wear), ළමා ඇඳුම් (Kids' wear) මෙන්ම ක්‍රීඩා සහ අනියම් ඇඳුම් (Athleisure & Sportswear) නිෂ්පාදනයෙහි හේලා සමාගම සතු විශේෂඥතාව ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්ව තිබේ. හේලා සමූහය සතු ගෝලීය සේවක බලකාය 13,800 ඉක්මවන අතර, ශ්‍රී ලංකාවට අමතරව කෙන්යාව, ඉතියෝපියාව සහ ඊජිප්තුව යන රටවල උසස් තාක්ෂණික පහසුකම් සහිත නිෂ්පාදනාගාර පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම, එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් සිය සැලසුම්, අලෙවිකරණ සහ වෙළෙඳනාම කළමනාකරණ කටයුතු මෙහෙයවීමට ද සමාගම පියවර ගෙන ඇත.
Google AdSense
In-Article Ad

