FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ආයතන තනතුරු සංශෝධනයක්..- ජනපති දැනුම් දෙයි..

FM Heart · 6 min read

Google AdSense

After Featured Image

බණ්ඩාරවෙල, පූනාගල කබරගල ප්‍රදේශයේ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ 'නවෝදයාගම' නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වතු ප්‍රජාව "වත්තේ ඉපදී, වත්තේ වැඩ කර, වත්තේම මියයන" සාම්ප්‍රදායික ජීවන රටාවෙන් මුදාගත යුතු බවයි. ඒ සඳහා අධ්‍යාපනය ප්‍රධානතම මෙවලම වන අතර, ඉදිරි අයවැය ලේඛනය මගින් නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවයක් ලබා දෙන බව ද ඔහු පැවසීය. රාජ්‍ය ආයතනවල ඉදිරියේදී සිදුවීමට නියමිත වෙනස්කම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ඉඟියක් ලබා දුන්නේය. ආයතනවල බලතල බෙදී යාම, තනතුරු නාම වෙනස් වීම සහ පුද්ගල වෙනස්කම් ඉදිරියේදී සිදුවිය හැකි බවත්, ඒ පිළිබඳව කිසිවෙකු කලබල විය යුතු නැති බවත් ඔහු පැවසීය. මෙම සියලු වෙනස්කම් සිදු කරන්නේ රටේ අසංවිධානාත්මක සංවර්‍ධනය වෙනුවට විධිමත් සහ තිරසාර සංවර්‍ධනයක් ඇති කිරීමේ අරමුණින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා; අද මෙම ප්‍රදේශයේ ජනතාවට සුවිශේෂී දිනයක්. වසර 200කට වඩා වැඩි කාලයක් අපේ රටේ ආර්‍ථිකය ගොඩනැගීමට දායක වී සිටින මෙම මලෛයගම් ජනතාව අපේම ජනතාවක්. ඔවුන් ආවේ කොහෙන්ද, ආවේ කවදාද කියන එක වැදගත් නැහැ. එය ඉතිහාසයයි. හැබැයි අද අපේ රටේ උපදින, රටේ ආර්‍ථිකයට දායක වන, මේ මහපොළවේ පස් බවට පත්වන මේ ජන කණ්ඩායම අපේ රටේම ජනතාවක්. සියවස් දෙකකට අධික කාලයක් ජීවත් වුවත් ඔවුන් මේ මාතෘ භූමියේ තමන්ගේම බිම් කොටසක උරුමයක් නොමැති ජන ප්‍රජාවක්. තමන්ගේම නිවසක් අහිමි වූ ජනතාවක්. සියලු ජනතාවට ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් මූලික කරුණු 05ක් අවශ්‍ය වෙනවා. නිවසක්, ආදායම් මාර්‍ගයක්, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ මානසික සුවය එම කරුණු 05 වෙනවා. හැබැයි මේ මලෛයගම් ජනතාව දෙස බැලුවොත් මේ කරුණුවලින් කුමන කරුණුද ඉටු වී තිබෙන්නේ. ඒ නිසා මේ සෑම ජන කණ්ඩායමකගේම මූලික අවශ්‍යතා ඉටු කර දීම අප රජයේ අභියෝගය සහ අප වෙත පැවරී තිබෙන වගකීම වෙනවා. ඒ වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එළැඹෙන අයවැය ලේඛනයේදීත් නිවාස ඉදිකිරීම වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනතාවට හොඳ අදායම් මාර්‍ගයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි බොහෝ පියවර ගෙන තිබෙනවා. දැනටමත් අපි මෛලයගම් ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි වීමක් ලබා දීමට සමත් වී තිබෙනවා. එය ප්‍රමාණවත් බව මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත් මූලික පියවර තබා තිබෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අපි විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගතකළ ජීවිතය ඔවුන්ගේ දරුවන්ට උරුම කර දීම යුක්ති සහගත වන්නේ නැහැ. වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේම මිය යනවා. එම ජීවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එහිදී ප්‍රධාන වන්නේ අධ්‍යාපනයයි. ඒ නිසා මෙම දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර වැඩ කිරීමට අපි සූදානම්. ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. එය ආණ්ඩුවක් ලෙස අපේ වගකීමක්. අද අඩු බර දරු උපත් වැඩියෙන්ම සිදු වන්නේ, අවුරුදු 05ට අඩු මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින්නේ සහ ආයු කාලය අඩු ප්‍රජාවක් සිටින්නේ මෙම ජනතාව අතරයි. ඒ නිසා සියවස් දෙකකට වැඩි කාලයක් කොන් කරන ලද, දෑස් හැර නොබලන ලද පාලනයන් විසින් මේ ජනතාව මේ තත්ත්වයට පත් කර තිබෙනවා. අපි ඔබට අපේම සහෝදර ජනතාවක් ලෙස මේ රටේ පුර්‍ණ අයිතිය සහ ජිවිතය ලබා දීමට කටයුතු කරන බවට මම සහතික වෙනවා. අද මෙම ජනතාවගේ විශාල ප්‍රශ්නයක් බවට ඉඩම් ප්‍රශ්නය මතුව තිබෙනවා. වත්තේ වැඩ කළාට සමාගම් ඉඩම් ලබා දීමට සූදානම් නැහැ. එහෙත් මෙම සමාගම් සමග තිබෙන ගිවිසුම් 2042 වන විට අවසන් වීමට නියමිතව තිබෙනවා. දැනටමත් අමාත්‍යාංශය එම ගිවිසුම් පිළිබඳ පසු විපරම් කිරීම සඳහා කමිටුවක් පත් කර විමර්‍ශන කටයුතු සිදු කරමින් තිබෙනවා. අපි ඉතා ඉක්මණින් එම ගිවිසුම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වු වගන්ති සමගයි එම ගිවිසුම් අත්සන් කිරීමට අපි කටයුතු කරනු ලබන්නේ. විශේෂයෙන් මේ මධ්‍යම කඳුකරය අපේ රටේ හදවතයි. මේ මධ්‍යම කඳුකරයෙන් රූරා ගලන ගංගා සහ ඔයවල් 103ක් තිබෙනවා. අපේ කෘෂිකර්‍මාන්තය, පාරිසරික තත්ත්වය සහ ආර්‍ථිකයේ විශාල පංගුවක් නියෝජනය වන්නේ මේ මධ්‍යම කඳුකරයෙන්. ආසන්න වශයෙන් අපේ භූමියෙන් 13%ක් මේ මධ්‍යම කඳුකරයට අයත් වෙනවා. වාර්‍ෂික වර්‍ෂාපතනයෙන් 72%ක් පමණ මේ මධ්‍යම කඳුකරයට ඇඳ හැළෙනවා. අපේ රටේ වැදගත්ම තැන මේ මධ්‍යම කඳුකරයයි. නමුත් දීර්‍ඝකාලීන අවිධිමත් සංවර්‍ධනයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමින් සිටිනවා. පසුගිය දිට්වාවලදී ප්‍රධාන නායයෑම් 1200කට වැඩිය සිදු වූ බවට වාර්‍තා වී තිබෙනවා. අපි දශක කිහිපයකට පෙර නාය නොයන රටක් ගැන ඇහුවා. තව දශක කිහිපයකින් පසුව නාය යෑම් එකක්, දෙකක් ගැන අසන්නට ලැබුණා. අපි දැන් නායයෑම් දහස් ගණනක් ගැන අහනවා. එසේනම් මේ මධ්‍යම කඳුකරය අපේ දෑස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනවා. අපේ රටේ ආරක්ෂාව සහ රටේ අනාගතයේ වැදගත් කොටසක් වන මෙම මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම අපේ වගකීම වෙනවා. අපි දැනටමත් ආසියානු සංවර්‍ධන බැංකුවේ සහාය ඇතිව විශේෂ පනතක් සකස් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් අපි පිහිටුවනවා. පැවති තත්ත්වයට පත් වීමට අපිට දශක ගණනාවක් ගත වේවි. හැබැයි විනාශයන් සඳහා තබන පියවර අපි නතර කළ යුතුයි. මේ සඳහා වගකීම් දරණ සියලු ආයතන සහ දෙපාර්‍තමේන්තුවල බලය අපි ඒකාබද්ධ කරනවා. මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට අපි කටයුතු කරනවා. මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී එම පනත පාර්‍ලිමේන්තුවේ සම්මත කර අධිකාරිය පිහිටුවීමට කටයුතු කරනවා. මධ්‍යම කඳුකරය සුවපත් කිරීමට නම් ජන ප්‍රජාවේ ගැටලු විසඳීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, පරිසර සංරක්ෂණ, වන සංරක්ෂණ, වනජීවි, වාරිමාර්‍ග, කෘෂිකර්‍ම ආදී මේ සියලු බලතල එක් අධිකාරියක් යටතට ගෙන ආ යුතුයි. අපි අනාගත පරපුර වෙනුවෙන් මේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කළයුතුයි. ඒ සඳහා අපි යම් යම් කැපවීම් සිදු කරමින් මැදිහත්විය යුතුයි. ජාතික වගකීමක් සේ සලකා අපි මෙම කාර්‍යය ඉටු කළ යුතුයි. එහිදී මෙම මලෛයගම් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ප්‍රධාන වෙනවා. ඒ සඳහා ඉන්දියානු රජය අපිට දීර්‍ඝකාලීන සහායක් ලබා දෙනවා. ඒ පිළිබඳව අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. පසුගිය යුද සමයේදී රට හැර ගොස් ඉන්දියාවේ ජීවත් වන ජනතාවට යළි මෙරටට පැමිණීමට බාධා තිබුණා. එම සියලු බාධා ඉවත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීන්දු කළා. ආගමන විගමන දෙපාර්‍තමේන්තුව ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ සියලු දෙනා අපේ රටේ පුරවැසියන්. මේ රටේ උපන් මිනිසුන්, මේ රටේ ආර්‍ථිකයට හවුල් වී මේ මහපොළොවට පස්වන මිනිසුන්. මේ සෑම දෙනාටම හොඳ ජීවිතයක් ලබා දිය යුතුයි. එම ජීවිතය උරුමකර දීමේ වගකීම රජයක් ලෙස අපි භාර ගෙන තිබෙනවා. අපේ අපේක්ෂාව ඔබට වඩා හොඳ ජිවිතයක් උරුම කර දීමයි, ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් උරුම කරදී මේ රට වඩා සුන්දර රටක් බවට පරිවර්‍තනය කිරීමයි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරනවා.

Google AdSense

In-Article Ad