
නව ව්‍යවස්ථාවක් හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් ගැන ආණ්ඩුව තුළ මෙතෙක් සාකච්ඡාවක් නෑ..- නලින්ද
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
දෙරණ නාලිකාවේ විකාශය වූ '360' දේශපාලන සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. ජාතික ජන බලවේගයේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනතාවට පොරොන්දු වී ඇති පසුබිමක, ආණ්ඩුවේ ඉදිරි වසර තුනක කාලය තුළ එම පොරොන්දුව ඉටු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය බවත්, එය හුදු පුරුද්දට ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළ එකක් නොවන බවත් පැවසූ අමාත්‍යවරයා, කෙසේ වෙතත් බංකොලොත් වූ ආර්‍ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් රජය ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සඳහා තවමත් ප්‍රවේශ වී නොමැති බව පැහැදිලි කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, "නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන්නේ ඉතා පුළුල් ක්‍රියාවලියක්. ඒ සඳහා පාර්‍ලිමේන්තුව තුළ කර ඇති අනුකමිටු වාර්‍තා, විවාද අධ්‍යයනය කළ යුතුයි. සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර එකඟතාවලට පැමිණිය යුතුයි. පනත් කෙටුම්පත් කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා යුතුයි. අවසානයේ ජනමත විචාරණයකට ගොස් ජනතාවගේ තීන්දුව ලබාගත යුතුයි. ඒ නිසා සමාජය තුළ මේ මොහොතේ බෙදීමක් ඇති නොකර, ආර්‍ථිකය ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය ලබාදීමයි අපේ අරමුණ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හෝ අපේ ආණ්ඩුවේ කිසිවකුට මේ විධායක පුටු සහ බලතල බදාගෙන සිටීමේ කිසිදු උවමනාවක් නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු උපරිමයෙන් ඉටු කිරීමට අපි කැපවී සිටිනවා. අඩුම තරමේ ඉදිරි කාලය තුළ මේ සඳහා ශක්තිමත් පදනම හෝ සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා." පසුගිය කාලයේ 22 වැනි සංශෝධනය ගෙන ඒමේදී පවා විපක්ෂය සහ විවිධ පාර්‍ශ්ව ඒකාබද්ධ වී සමාජය නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකළ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආණ්ඩුව පසුබට නොවන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

