
පීඩන අවපාතය චණ්ඩ සුළි කුණාටුවක් වී ලංකාවට උඩින් කැරකේ..
FM Heart · 2 min read
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ස්ථානගතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුව දක්වා තීව්ර වී ඇති අතර, එය ඉදිරි පැය කිහිපය තුළ ‘චණ්ඩ සුළි කුණාටුවක්’ බවට පත්වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය නිවේදනය කරයි. මේ හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල යාත්රා කරන බහුදින ධීවර සහ නාවික ප්රජාව වෙත ‘රතු’ මට්ටමේ දැඩි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති අතර, ගොඩබිම් ප්රදේශ කිහිපයක් සඳහා ප්රබල අකුණු පිළිබඳ ‘ඇම්බර්’ මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවට අනුව, බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදේ පැවති මෙම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.4 සහ නැගෙනහිර දේශාංශ 88.9 ආසන්නයේ කේන්ද්රගතව පැවති අතර, එය වයඹ දෙසට ගමන් කරමින් අද රාත්රී 11.30 වන විට බටහිර-මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇත. මෙම පද්ධතිය ආශ්රිත මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 3.0ත් 4.0ත් අතර උසකට නැගීමේ හැකියාවක් පවතී. මේ හේතුවෙන් අදාළ මුහුදු කලාප අතිශය රළු විය හැකි බැවින් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු සීමාවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත්, දැනටමත් එම මුහුදු කලාපවල රැඳී සිටින යාත්රා වහාම ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ. මේ අතර, උතුරු මැද පළාත මෙන්ම ත්රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලික තද සුළංද හටගත හැකිය. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට නොසිටින ලෙසත්, කුඹුරු, තේ වතු, ක්රීඩා පිටි හෝ ජලාශ්රිත විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් ජනතාවට අවවාද කෙරේ. තවද රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙසත්, බයිසිකල්, ට්රැක්ටර් හෝ විවෘත බෝට්ටු භාවිතය නතර කර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින ලෙසත් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

