
අලිවැට ශක්තිමත් කරලා ගම්මානය දෙසින් ඉඩම් අලුතෙන් විවාහ පවුල්වලට දෙනවා..
FM Heart · 3 min read
එහිදී අදහස් දැක්වූ ගම්වාසී නියෝජිතයන් පෙන්වා රක්ෂිත ආශ්රිතව වාසය කරන ජනතාව අලි–මිනිස් ගැටුම හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි. රක්ෂිත දෙකක් අතර කිලෝමීටර් දෙකහමාරක පමණ දුරක් පැවතිය ද, ඒවා සම්බන්ධ කරන ප්රමාණවත් වන තීරුවක් නොමැති වීම සහ ගම්මානය මධ්යයේ ඇති රජයේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්රදේශ නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් අලි ඇතුන් ගම්මාන හරහා ගමන් කරන බව ඔවුහු පැවසූහ. දැනට පවතින මෙම තත්තවය හේතුවෙන් ගොඩ ගොවිතැන සහ වී වගාව යන දෙකම ආරක්ෂා කරගැනීමට නොහැකි වී ඇති අතර, පාසල සහ පන්සල ආසන්නයට පවා අලි පැමිණීමෙන් ජන ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී තිබේ. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස වීරක්කොඩිචෝලේ රක්ෂිතය දෙසින් ඇති කිලෝමීටර් තුනහමාරක අලිවැට ශක්තිමත් කිරීම, සෙල්ලකන්ද රක්ෂිතය දෙසින් නව අලිවැටක් ඉදිකිරීම සහ ස්ථාපිත කර ඇති මුරකුටි උපයෝගී කරගනිමින් විධිමත් මුර සේවයක් ක්රියාත්මක කිරීමේ අවශ්යතාව ගම්වාසීහු අවධාරණය කළහ. ගම්වාසීන්ගේ මෙම ඉල්ලීම්වලට ප්රතිචාර දක්වමින් අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ අදාළ කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවයි. වනජීවී නිලධාරීන්ගේ රාජකාරි කාර්යක්ෂම කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති බවත්, කැබ් රථ සහ යතුරුපැදි ඇතුළු ප්රවාහන පහසුකම් ලබාදෙමින් ක්ෂේත්ර රාජකාරි ශක්තිමත් කර ඇති බවත් අමාත්යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම අලිවැට ඉදිකිරීමේදී වියදමට පමණක් සීමා නොවී දිගුකාලීනව ප්රයෝජනවත් වන ශක්තිමත් අලිවැටක් ඉදිකිරීමේ අවශ්යතාව ජනාධිපතිවරයා ද අවධාරණය කර ඇති බවත්, අලි ඇතුන් ජලය සොයා ගම්වදීම වැළැක්වීම සඳහා මහසෙන් වැව ඉදිකිරීම ඇතුළු වනාන්තර ආශ්රිත වැව් ප්රතිසංස්කරණයට අවධානය යොමු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදී ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අමාත්යවරයා, අලිවැට ශක්තිමත් කිරීමෙන් අනතුරුව ගම්මානය දෙසින් පිහිටි ඉඩම් අලුතෙන් විවාහ වූ තරුණ පවුල් සඳහා ලබාදීමේ හැකියාව පිළිබඳව ප්රාදේශීය ලේකම්වරිය සහ ග්රාම නිලධාරීවරයා සමඟ සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන බව පැවසීය. එලෙස ජනතාවට ඉඩම් ලබාදීමේදී වනජීවීන්ගේ වාසස්ථාන සුරැකීම සහ මෙරට වන ආවරණය සියයට 30ක් දක්වා වැඩි කිරීමේ රජයේ ප්රතිපත්තිමය ඉලක්කය සපුරා ගැනීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. සීමිත භූමි ප්රමාණයකින් වැඩි ආදායමක් ලබාගත හැකි නව කෘෂිකාර්මික ක්රමවේද සහ ස්වයං රැකියා සඳහා ජනතාව යොමු කිරීමේ වැදගත්කම ද අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කුඩා ඉඩම්වල කරවිල, බිම්මල්, පැෂන් පලතුරු, ලොකු ලූනු වගාව මෙන්ම සත්ත්ව පාලනය, මල් වගාව සහ ඇඳුම් මැසීම වැනි ජීවනෝපාය මාර්ග හරහා ආර්ථිකය ශක්තිමත් කරගත හැකි බව ඔහු පැවසීය. සහනාධාර මත යැපෙන සංස්කෘතියෙන් මිදී නව තාක්ෂණය සහ ඵලදායී කෘෂිකර්මාන්තය ඔස්සේ ග්රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිය ගොඩනැඟීම රජයේ ප්රධාන අරමුණ බව පෙන්වා දුන් අමාත්යවරයා, පරිසර සංරක්ෂණය සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සමබර කරගනිමින් මෙම ප්රායෝගික විසඳුම් ක්රියාත්මක කරන බව ප්රකාශ කළේය. මෙම අවස්ථාවට කරුවලගස්වැව ප්රාදේශීය සභාවේ සභාපති නීල් නවරත්න මහතා ප්රමුඛ ප්රාදේශීය සභා මන්ත්රීවරුන් ඇතුළු කොට්ඨාස සභාවේ නියෝජිතයින් හා තේනුවර ගම්වාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

