
මෙරට වනාන්තරවල දළ ඇතුන් 99ක් වසර තුනකින් අතුරුදන්.. ප්රකට දළ ඇතුන් 13ක ජීවිත දැඩි අවදානමක..
FM Heart · 2 min read
එමෙන්ම දැනට ජීවතුන් අතර සිටින බවට හඳුනාගෙන ඇති දළ ඇතුන් අතුරින් 13 දෙනෙකුගේ ජීවිත දැඩි අනතුරකට මුහුණ පා ඇති බව එම සංවිධානයේ සාමාජික මිලින්ද වත්තේගෙදර මහතා පෙන්වා දෙයි. මෙලෙස අතිශය අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති ප්රමුඛ පෙළේ දළ ඇතුන් 13 දෙනා වන්නේ; ගජබාහු, සූර්යා, දීඝායු, කාශ්යප, මහාසේන, විජයබා, සුරනිමල, මහානාම, වන්නියාන්, උඩවලවේ සුමේධ, මහ වාසල සහ අග්බෝ යන සතුන්ය. මෙම හස්තීන් අතුරින් දරුණුතම ජීවිත තර්ජනයට මුහුණ දී සිටින්නේ පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වූ ‘අග්බෝ’ හස්තියා බව එම සංවිධානයේ සාමාජික චන්දික ලක්මාල් මහතා සඳහන් කරයි. අදාළ සතුන් ගැවසෙන භූමි ප්රදේශ, මිනිස් ක්රියාකාරකම් මෙන්ම උන්ගේ හැසිරීම් රටාවන් මෙම අවදානම කෙරෙහි සෘජුව බලපාන බව පෙන්වා දෙන ඒ මහතා, අග්බෝ හස්තියා තුළ පවතින කලහකාරී හැසිරීම හේතුවෙන් ඌ නිරන්තරයෙන් මිනිස් ප්රහාරයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි බව පවසයි. එබැවින් වගකිවයුතු බලධාරීන් සංරක්ෂණ සැලසුම් ක්රියාවට නැංවීමේදී අග්බෝ, ගජබාහු සහ වාසල වැනි අතිශය අවදානමට ලක්වූ දළ ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ප්රමුඛතාවක් ලබා දිය යුතු බව සංවිධානය අවධාරණය කරයි. වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ ප්රධානත්වයෙන් යුත් ‘වයිල්ඩ් ටස්කර්ස් ශ්රී ලංකා’ සංවිධානය 2006 වසරේ සිට මෙරට වනාන්තරගත දළ ඇතුන් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යනු ලබයි. එම දත්ත වාර්තාවලට අනුව 2006 වසරේ සිට ගතවූ දශක දෙකක කාලය තුළ මෙරටින් වාර්තා වී තිබූ මුළු දළ ඇතුන් සංඛ්යාව 322කි. එහෙත් වර්තමානය වන විට තොරතුරු තහවුරු කරගත හැකිව ඇත්තේ ඉන් දළ ඇතුන් 174 දෙනෙකු පිළිබඳව පමණි. එම 174 දෙනා අතරින්ද වර්ගයා බෝකිරීමේ හැකියාව සහිත, වයස අවුරුදු 30 ඉක්මවූ පූර්ණ පරිණත දළ ඇතුන් සිටින්නේ 56 දෙනෙකු වැනි අතිශය සීමිත සංඛ්යාවක් පමණි.

