
සුනඛ ලියාපදිංචි පනත කියන්නේ බදු බද්ද නෙමෙයි.. ජලභීතිකාව තුරන් කරන්නයි..
FM Heart · 2 min read
ශ්රී ලංකාව තුළ ජලභීතිකා රෝගය සහමුලින්ම තුරන් කිරීම සහ සුනඛ ගහනය විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් සකස් කරන ලද "ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත" පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව අවධාරණය කෙරිණි. දැනට පවතින යල්පැන ගිය ජලභීතිකා ආඥාපනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත අහෝසි කරමින් ගෙන එන ලද මෙම නව පනත ප්රධාන ක්ෂේත්ර හයක් ආවරණය වන පරිදි සකස් කර ඇති බව සභාවට දැනුම් දෙන ලදී. මෙම නව නීතිමය රාමුවට අනුව වයස සති හයකට වැඩි ඕනෑම සුනඛයෙකුගේ අයිතිකරු විසින් එම සත්වයාට ජලභීතිකා මර්දන එන්නත ලබා දීම අනිවාර්ය වන අතර, අදාළ පළාත් පාලන ආයතනය වෙතින් ඊට අදාළ ලියාපදිංචි සහතිකය ලබාගත යුතුව ඇත. මෙම පනත හරහා රජය නව බද්දක් පැනවීමට සූදානම් වන බවට සමාජයේ පැතිර යන මතය ප්රතික්ෂේප කරමින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ, 1848 යටත්විජිත සමයේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා බලු බද්ද ඇතුළු විවිධ බදු පැනවූයේ මහජනතාවගෙන් මුදල් එකතු කර යටත්විජිත පාලනයේ ආදායම් තරකර ගැනීමට පමණක් බවයි. ඊට හාත්පසින්ම වෙනස්ව, වත්මන් පනතේ එකම අරමුණ වන්නේ මහජන සෞඛ්යය ආරක්ෂා කිරීම, සත්ව සුභසාධනය තහවුරු කිරීම සහ ජලභීතිකාව මෙරටින් තුරන් කිරීම පමණක් බවත්, එය කිසිසේත්ම භාණ්ඩාගාරයට ආදායම් උපයන මාර්ගයක් නොවන බවත් සභාව හමුවේ පැහැදිලි කෙරිණි. සංඛ්යාලේඛන උපුටා දක්වමින් මෙහිදී අනාවරණය කෙරුණේ, 1970 සහ 1980 දශකවලදී මෙරට වාර්ෂිකව ජලභීතිකාව වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්යාව 300 ඉක්මවා ගියද, අඛණ්ඩ එන්නත්කරණය නිසා එය පසුගිය වසරේදී මරණ 14ක් දක්වා අවම කරගැනීමට හැකිවූ බවයි. කෙසේ වෙතත්, සුනඛ සපාකෑම්වලට ගොදුරු වන පුද්ගලයන්ට ප්රතිකාර කිරීම සහ එන්නත් ලබා දීම වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් මිලියන 655.82ක මුදලක් වැය කිරීමට සිදුවන බවද අවධාරණය කෙරිණි. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සත්ව සුභසාධන සංවිධාන, පරිසරවේදීන් මෙන්ම විවිධ පාර්ශ්ව අතර විවිධ අදහස් හා සංවාද මතුව ඇති පසුබිමක, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මෙන්ම සෙසු පාර්ශ්ව ඉදිරිපත් කරන සියලු යෝජනා සහ සංශෝධන ගැඹුරින් සලකා බැලීම සඳහා පනත සම්මත කරගැනීම වෙනත් දිනකට කල් තැබීමට තීරණය විය. ඒ අනුව එදින පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය පමණි.

