FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මරණ දඬුවමට විරුද්ද බව අගරදගුරු තම අත්සනින් නිවේදනය කරයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

එම ප්‍රකාශය මගින් උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ, කතෝලික සභාවේ ධර්මෝපදේශයන්ට අනුව මරණ දඬුවම යනු කිසිසේත්ම අනුමත කළ නොහැකි දණ්ඩනයක් බවයි. මානව ගරුත්වය උල්ලංඝනය වන බැවින් කතෝලික සභාව මරණ දඬුවමට එරෙහි වන බවත්, ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවත් උන්වහන්සේ පෙන්වා දෙති. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට හෝ අධිකරණ තීන්දුවලට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට තමන් අපේක්ෂා නොකරන බව ද කාදිනල් හිමිපාණන් අවධාරණය කර ඇත. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමටත්, ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් සහ ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් හෙළිකර ගැනීමටත් රජය දක්වන උනන්දුව අගය කරන බව උන්වහන්සේ සඳහන් කරති. පුද්ගලික මට්ටමින් සමාව දීම සහ සිවිල් සමාජය තුළ නීතිය මගින් වගවීම තහවුරු කිරීම අතර පවතින වෙනස පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ. "සමාව දීමෙන් තොර යුක්තියක් නැත - යුක්තියෙන් තොර සමාවක් නැත" යන ශුද්ධ වූ දෙවන ජෝන් පෝල් පාප් වහන්සේගේ පණිවිඩය සිහිපත් කරමින් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ, වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා නීති පද්ධතිය හරහා වගවීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවයි. රටේ ඕනෑම ආගමික වන්දනා ස්ථානයක හෝ පොදු ස්ථානයක මෙවැනි අන්තවාදී ප්‍රහාරයන් නැවත සිදු නොවීමට වගබලා ගැනීම බලයේ සිටින සියලු දෙනාගේ වගකීමක් බවත්, ඒ සඳහා උපරිම උත්සාහයක් ගත යුතු බවත් අගරදගුරුතුමන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Google AdSense

In-Article Ad