FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පිළිකා ඖෂධ හිඟයට දේශීය වෙළෙඳපොළෙන් මිලට ගන්නවා...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මීට පෙර මෙරටට ගෙන්වන ලද එන්නත් එක්ලක්ෂ හැටදහසක (160,000) තොගයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් භාර ගැනීමට නොහැකි වූ බවයි. එම ඖෂධ තොගයේ පිටත ඇසුරුම්වල සියලු තොරතුරු සඳහන්ව තිබුණ ද, එන්නත් සිරිංජවල අදාළ තොරතුරු සඳහන් නොවීම හේතුවෙන් පවතින නීතිමය සහ ප්‍රසම්පාදන රෙගුලාසි මත ඒවා භාර ගැනීමට නොහැකි වූ බව ඔහු පැහැදිලි කළේය. "අදාළ ඖෂධ තොගයේ ගුණාත්මකභාවය හෝ වෙනත් ගැටලුවක් වුවහොත් අපට වගකීමක් ගත නොහැකි තත්ත්වයක් තිබුණා. ඒ නිසා එම තොගය ප්‍රතික්ෂේප කිරීමට සිදු වුණා. මේ වන විට අපේක්ෂා රෝහලේ පවතින හිඟය මඟහරවා ගැනීමට රජය මැදිහත් වී දේශීය ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදී ගෙන රෝගීන්ට ලබා දීමට කටයුතු කරමින් සිටිනවා," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. චීන සමාගමකින් ඇණවුම් කර ඇති එන්නත් ලක්ෂ තුනක (300,000) තොගයෙන් කොටසක් මේ වන විටත් ලැබී ඇති බවත්, ඉතිරි එන්නත් දෙලක්ෂ හැත්තෑදහසක ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. දේශීය වෙළෙඳපොළේ ඇතැම් ඖෂධ අධික මිල ගණන්වලට අලෙවි වන බවට මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, රජය කිසිසේත්ම අසාධාරණ මිල ගණන්වලට ඖෂධ මිලදී නොගන්නා බවත්, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් විනිවිදභාවයකින් යුතුව මෙම මිලදී ගැනීම් සිදු කරන බවත්‍ය. අපේක්ෂා රෝහලේ බලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ මේ පිළිබඳව දීර්‍ඝ ලෙස සාකච්ඡා කර ඇති බවත්, ඉදිරි සති කිහිපය තුළ මෙම ඖෂධ හිඟය සම්පූර්‍ණයෙන් මඟහරවා ගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad