
පානදුර උසාවියේ කුඩු සලිඳුගේ ලිපිගොනු 'අතුරුදන් කළ' අය ගැන පරීක්ෂණ!
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ නමැත්තාට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළ ගොනු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සේවකයින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මෙලෙස ප්‍රකාශ ලබාදුන් පිරිස අතර කාන්තා නිලධාරිනියන් හත්දෙනෙකු ද සිටින බව පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා සඳහන් කළේය. මෙම අස්ථානගත වීම පිළිබඳව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්‍වරිය විසින් ඉකුත් 01 වනදා පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලට අනුව අධිකරණය වෙත 'බී' වාර්‍තාවක් මගින් කරුණු වාර්‍තා කිරීමෙන් අනතුරුව, පානදුර කොට්ඨාස අපරාධ විමර්‍ශන කාර්‍යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙසේ අතුරුදන් වී ඇත්තේ ‘කුඩු සලිඳු’ගේ මෙහෙයවීමෙන් පානදුර උතුර ප්‍රදේශයේ සිදුවූ බව කියන මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුවක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර ඇති නඩුවකට අදාළ වාර්‍තාවකි. පසුගිය 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව මෝසමක් මාර්‍ගයෙන් අදාළ නඩුවක් කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ ප්‍රධාන ගොනුව සොයාගැනීමට නොහැකි වීම නිසා උපගොනුවක් භාවිත කරමින් එය 31 වනදා දක්වා කල් තබා ඇත. පසුව සිදුකළ සොයාබැලීම්වලදී මෙම නඩු ගොනු දෙකම අස්ථානගත වී ඇති බව තහවුරු වී තිබේ. නඩු ගොනුවල පිටපත් ලබාගැනීම සඳහා ඒවා කාර්‍යාල කාර්‍ය සහායකවරයෙකු වෙත භාරදී ලේඛනාගාරගත කර තිබියදී මෙලෙස අතුරුදන් වී ඇති බව පොලිසියේ මූලික විමර්‍ශනවලදී අනාවරණය වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ සංකීර්‍ණයේ සවිකර ඇති CCTV කැමරා දර්‍ශන ද පරීක්ෂා කිරීමට නියමිතය. පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් මත, පානදුර කොට්ඨාස අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් සහ පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාඋල්ලගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්‍ශන ක්‍රියාත්මක වේ.
Google AdSense
In-Article Ad

