FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපි බලයට එන විට ආර්‍ථික වශයෙන් පිරිහුණු අකාර්‍යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් තිබුනේ..

FM Heart · 4 min read

Google AdSense

After Featured Image

රුපියල් මිලියන 28ක වියදමින් ඉදිකර ඇති මෙම නව තැපැල් කාර්‍යාල ගොඩනැගිල්ල, ප්‍රදේශයේ ජනතාව වෙත වඩාත් කාර්‍යක්ෂම, විධිමත් හා ගුණාත්මක තැපැල් සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් නවීන පහසුකම් සහිතව ඉදිකර ඇත.පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර , ගොඩනැගිලි දෙපාර්‍තමේන්තුව මගින් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබීය. පළමු පන්තියේ තැපැල් කාර්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වන මුලතිව් තැපැල් කාර්‍යාලය මගින් පවුල් 5,830කට සෘජුවම සේවා සැපයෙන අතර, ඊට අනුබද්ධ උප තැපැල් කාර්‍යාල 06ක් මගින් තවත් පවුල් 4,883කට සේවා සැපයෙයි. මීට අමතරව, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 68ක්, හෝටල් 09ක් සහ කර්‍මාන්තශාලා 04ක් ඇතුළු ආයතන රැසක් මෙම තැපැල් කාර්‍යාලය මගින් සේවා ලබා ගනී. මුලතිව් දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්‍යාල 05ක් සහ උප තැපැල් කාර්‍යාල 17ක් ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික්කයේ ජනතාවගේ දෛනික සන්නිවේදන හා රාජ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමේදී මුලතිව් තැපැල් කාර්‍යාලයට සුවිශේෂී කාර්‍යභාරයක් පැවරී ඇත. වසර 10කට පමණ පසු නැවතත් නව තැපැල් කාර්‍යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ආරම්භ කර ඇති අතර, 2025 අයවැය මගින් නව තැපැල් කාර්‍යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කරනු ලැබීය. එම ප්‍රතිපාදන යටතේ නව තැපැල් කාර්‍යාල 11ක් මේවන විට විවෘත කර ඇත. මුලතිව් නව තැපැල් කාර්‍යාලයද සමඟ එම සංඛ්‍යාව 12කි. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තමන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණි අවස්ථාව මෙවර සංචාරය වු බවත්, එහි දී ජනාධිපතිවරයා සමඟ පළමු දිනයේත්, ඊයේ සහ අද දිනයන්හිත් දිස්ත්‍රික්කය තුළ සිදුකරන සංවර්‍ධන කටයුතු ආරම්භ කිරීම සහ ජනතා අයිතියට පත් කිරීම සඳහා සහභාගීවීමට ලැබීම භාගයක් බව ද පැවසීය. වත්මන් රජය බලයට පත්වන විට ආර්‍ථික වශයෙන් පිරිහුණු සහ අකාර්‍යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් රටට උරුම වී තිබූ බවත්, කාලාන්තරයක් පුරා පැවති පද්ධතිමය තත්ත්වයන් හේතුවෙන් කාර්‍යක්ෂම රාජ්‍ය සේවකයන්ගේ ඵලදායීතාව පවා අඩාල වී තිබූ බවත් අමාත්‍යවරයා පැවසීය. මේ වන විට රාජ්‍ය ආර්‍ථිකය ක්‍රමානුකූලව ශක්තිමත් හා ස්ථාවර කරමින් රාජ්‍ය ආදායම සහ කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බවත්, ජනතාව භාණ්ඩාගාරයට ලබාදෙන ආදායම නැවත ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා යෙදවීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. මුලතිව් ඇතුළු ආසන්න දිස්ත්‍රික්කවල රුපියල් මිලියන 2500කට අධික වටිනාකමකින් යුත් සංවර්‍ධන ව්‍යාපෘති රැසක් මෙම දින කිහිපය තුළ ආරම්භ කිරීමට හා ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ආර්‍ථික වශයෙන් තවදුරටත් ශක්තිමත් කළ යුතු ප්‍රදේශයක් වන මුලතිව් දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්ෂ එකහමාරකට ආසන්න වන බැවින්, එම ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සංවර්‍ධන කටයුතු විධිමත්ව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය කාලසීමාවේ පැවති ආර්‍ථික අක්‍රමිකතා සහ දූෂණ තත්ත්වයන් රට මුහුණදුන් ආර්‍ථික අර්‍බුදයට ඍඡුවම බලපෑ බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා එම තත්ත්වයෙන් රට මුදාගෙන ජනතාවට ප්‍රතිලාභ සැලසෙන සංවර්‍ධන ක්‍රියාවලියක් ශක්තිමත් කිරීම සඳහා රජය වගකීමෙන් කටයුතු කරන බවද ප්‍රකාශ කළේය. සෞඛ්‍ය, අධ්‍යාපන, මහාමාර්‍ග හා නිවාස ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අමාත්‍යාංශ ඒකාබද්ධ කර ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ සංවර්‍ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත්, ජනතාවට සෘජුව ප්‍රතිලාභ ලැබෙන සංවර්‍ධන ප්‍රතිඵල නිර්‍මාණය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම ජාතිවාදය හෝ අන්තවාදය පැතිරවීමට කිසියම් පිරිසක් උත්සාහ කරන්නේ නම්, නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය. 2025 වසරේ තැපැල් හා පරිපාලන කාර්‍යාල ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කර ඇති අතර, එමගින් ගොඩනැගිලි 200කට ආසන්න සංඛ්‍යාවක අලුත්වැඩියා කටයුතු සිදුකර ඇත. 2026 වසරේ නව තැපැල් කාර්‍යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා තවත් රුපියල් මිලියන 400ක් සහ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කර තිබේ. 2025 වසරේ සිව්වන කාර්‍තුවේ ආරම්භ කර අවසන් කිරීමට නොහැකි වූ අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතුද මෙම වසරේදී ඉදිරියට ගෙන යමින් පවතී. තැපැල් සේවාවේ ප්‍රවාහන අවශ්‍යතා ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 588ක වියදමින් ලොරි රථ 10ක් සහ කැබ් රථ 20ක් ලබාදීමටද කටයුතු කර ඇත. මධ්‍යම තැපැල් හුවමාරුවේ ආරක්ෂාව හා කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 27ක වියදමින් CCTV කැමරා 209ක් සවිකර ඇති අතර, ඩෙස්ක්ටොප් පරිගණක 225ක් සඳහා රුපියල් මිලියන 74ක්ද, ටැබ් පරිගණක 1,500ක් සඳහා රුපියල් මිලියන 101ක්ද වැය කර ඇත. මෙම වැඩපිළිවෙළ මගින් රටේ තැපැල් සේවාව වර්‍තමාන ජනතා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නවීකරණය කරමින් එහි භෞතික යටිතල පහසුකම්, තාක්ෂණික ධාරිතාව සහ සේවා සැපයීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අරමුණ වේ. මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මයිල්වානගම් ජෙගදීස්වරම්, සෙල්ලතම්බි තිගෝග නාදන් සහ තුරෛරාසා රවීකරන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් උමා මහේෂ්වරන්, තැපැල් දෙපාර්‍තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පතිවරුන්වන තුසිත හුලංගමුව, හේමචන්ද්‍ර හේරත්, උතුරු පළාත් නියෝජ්‍ය තැපැල්පති කේ. නිවේදිගා, මුලතිව් ප්‍රාදේශීය තැපැල් අධිකාරී සී. අරූල්චෙල්වම් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

Google AdSense

In-Article Ad