
ප්රායෝගිකම විසඳුම වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමයි..- සිපෙට්කෝ සභාපති
FM Heart · 2 min read
ලංකා අයිඕසී (LIOC), චීනයේ සිනොපෙක් (Sinopec) සහ ඇමරිකානු ආර්.එම්. පාර්ක්ස් (RM Parks) යන විදේශ සමාගම් මෙලෙස සිය බෙදාහැරීම් සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ඩේලි මිරර් පුවත්පත වෙත තහවුරු කර තිබේ. සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙරට සමස්ත ඉන්ධන සැපයුමෙන් සියයට 45ක පමණ දායකත්වයක් දරනු ලැබුවේ මෙම විදේශීය සමාගම් විසින් බවයි. කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය හමුවේ මෙරට ඩීසල් අවශ්යතාවයෙන් සියයට 80ක්ම සිය පිරවුම්හල් ජාලය හරහා බෙදාහැරීමට මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව ඇති බව ඔහු සඳහන් කරයි. ඉන්ධන පරිභෝජනය පාලනය කිරීම සඳහා කිසියම් ක්රියාමාර්ගයක් ගන්නේදැයි විමසූ විට, ඒ සඳහා ගත හැකි වඩාත්ම ප්රායෝගික විසඳුම වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම බව සභාපතිවරයා ප්රකාශ කර ඇත. "බෙදාහැරීම සීමා කිරීම සඳහා QR කේත ක්රමය නැවත දැඩි කිරීමට අපට හැකියාවක් නැහැ. මන්ද ඒ සඳහා විශාල පරිපාලන පිරිවැයක් දැරීමට සිදුවන නිසයි. ඒ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව මේ වන විට අවධානය යොමු වෙමින් පවතිනවා," යනුවෙන් ඔහු ඩේලි මිරර් වෙත වැඩිදුරටත් පවසා තිබේ. ගතවූ සුළු දින කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඩීසල් සහ පෙට්රල් මිල ගණන් අසාමාන්ය ලෙස ඉහළ යාම හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි මූල්ය හා මෙහෙයුම් බාධාවන්ට මුහුණ දී සිටියි. පසුගිය අඟහරුවාදා වන විට ජාත්යන්තර වෙළෙඳපොළේ ඩීසල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 174 දක්වාත්, පෙට්රල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 133 දක්වාත් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව සංස්ථා සභාපතිවරයා පෙන්වා දෙයි.

