
පිපෙන්නට පෙර පරවෙන කැකුළු මල්!
FM Heart · 11 min read
නකල්ස් සිදුවීමෙන් ඔබ්බට ගිය ළමා මව්වරුන්ගේ කතාව ජීව විද්‍යාත්මකව, දරුවෙකුට තවත් දරුවෙක් හැදීමේ සහ දැරීමේ පරිණත හැකියාවක් නෑ… මේ වසරේ නව යොවුන් ගැබ්ගැනීම් ගණන 35යි… ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණවලින් 99% ක් සිදුවෙන්නේ ගැහැණු ළමයාගේ කැමැත්තෙන් ජීව විද්‍යාත්මකව දරුවෙකුට තවත් දරුවෙක් හැදීමේ සහ දැරීමේ පරිණත හැකියාවක් නෑ…. ලිංගික අධ්‍යාපනය ලබාදෙන්න ඕනේ නව යොවුන් වියේ නොවෙයි, ඊට කලින් නකල්ස් කඳුවැටිය යනු අන් කිසිදු බිමක නැති අපූරු රම්යතාවයකින් හා මීදුම් සළුවලින් සැරසුණු, අතීතයේ සිටම අපේ රටේ කවියන්ට සහ සොබාදහම් පෙම්වතුන්ට වස්තු බීජයක් වූ සොඳුරු භූමියකි. එහි පවතින සීතල ස්වභාවයත්, දොළ පහරවල නාදයත්, සොබාදහමේ අසිරිමත් නිදහසත් ඕනෑම කෙනකුගේ සිත් පැහැර ගන්නකි. එහෙත්, මීට දින කිහිපයකට පෙර ‘නකල්ස්’ නම මුළු රටේම දැඩි කම්පනයකට හා උණුසුම් කතාබහට ලක්වූයේ, ඒ කඳු මුදුනේ රම්යතාවයට මුවා වී සැඟව තිබූ අතිශයින්ම ම්ලේච්ඡ හා අවාසනාවන්ත ඛේදවාචකයක් කරලියට පැමිණි නිසාය. පාසල් වියේ පසුවන ලාබාල දැරියක් තරුණයකු විසින් නකල්ස් කන්දේ ගල් ගුහාවක් තුළ මාස ගණනාවක් තිස්සේ අතිශය අමානුෂික ලෙස සඟවාගෙන සිට, අවසානයේ ඇය කිසිදු වෛද්‍ය ආධාරයකින් තොරව එම ගුහාව තුළදීම දරුවෙකුට උපත ලබා දී තිබුණි. මේ වන විට ඇයගේ වයස අවුරුදු පහළොවකි. අලුත උපන් බිළිඳියට මාස දෙකකි. ඇගේ ‘පෙම්වතා’ යැයි කියාගන්නා තරුණයාගේ වයස අවුරුදු 23 කි. “අපි කන්දක් උඩ පැලක් අටවගෙන, ලුණුයි බතුයි කාලා ජීවත් වෙමු රත්තරන්” යනු අතීත සමාජයේ පෙම්වතුන් අතර ගෙවී ගිය බොළඳ කතාවකි. බොහෝ අය එවැනි යථාර්ථයෙන් තොර ප්‍රකාශ අසා සිනාසුණේ ලුණුයි බතුයි කමින්, කන්දක් මුදුනක පැලක් අටවන් තනිව ජීවත් වෙන ආකාරයේ විකාර සිහින මොළයක් ඇති කිසිවෙකුට නොමැති බැවිනි. එහෙත්, නකල්ස් කඳු මිටියාවතේ සිදුවූයේ ඊට තරමක් සමාන නමුත් වඩාත් ඛේදනීය සිදුවීමකි. එහි ලුණුයි බතුයි කා හෝ සුවපහසුව ජීවත්වන්නට, අවම තරමින් පැල්පතක සුන්දරත්වය පිරුණු ගැහැණු සිහිනයක් නොතිබුණි. තිබුණේ වහළය හා බිත්ති වෙනුවට තියුණු ගල් කුලකුත්, හමා යන සීතල සුළඟින් හා වැස්සෙන් ආරක්ෂා වන්නට ඇටවූ ඉටි රෙදි කැබැල්ලකුත් පමණි. මාස පහක් පුරාවට, දෙමස් බිළිඳියක සමග ඒ ගල් ලෙනේ ජීවන සටනක පොරබදමින් සිටියේ අපගේ කෝණයට අනුව නම් පෙම්වතියකවත්, මවකවත් නොව; අපයෝජනයකට ගොදුරු වූ බාලවයස්කාර ගැහැණු දරුවෙකි. සැබැවින්ම ඇය තවමත් පාසල් බෑගයක් කරපින්නාගෙන, ලෝකය අකුරින් අකුර කියවාගත යුතු වයසේ කුඩා දැරියකි. එහෙත් පොත් පත් තුරුළු කරගත යුතු ඒ සුන්දර වයසේදී ඇයට තුරුළු කරගන්නට සිදුව ඇත්තේ කුඩා බිළිඳියකි. ඩිම්බ මේරීමෙන් පමණක් දරුවෙක් බිහි කිරීමට තරම් සමාජීය හෝ මනෝවිද්‍යාත්මක පරිණතියක් නොලැබූ ඇය, මාතෘත්වයේ බර දරාගන්නේ කෙසේදැයි අප දන්නේ නැත. ඇයව ‘භාර්යාවක්’ කොටගෙන ඒ අඳුරු ගල් ගුහාවට කැඳවාගෙන ගිය තරුණයා නීතියේ රැහැණින් බේරීමට වෙර දරද්දී, අඳුරට තල්ලු වෙමින් තිබුණේ මේ ගැහැණු දරුවන් දෙදෙනාගේම ජීවිතයන්ය. මේ සිදුවීමේ කම්පනකාරී හා ලොමුඩැහැගන්වන පරිච්ඡේදය මතුවන්නේ එම ගුහාව තුළදීම දැරිය දරුවා බිහි කළ අවස්ථාවේදීය. කිසිදු වෛද්‍ය ආධාරයක් නොමැතිව, සිසිල් ගල් තලාවක් මත වැතිර එම ලාබාල දැරිය බිළිඳියකට උපත ලබා දුන් පසු, මවගේ සහ දරුවාගේ පෙකෙණිය තරුණයා විසින් කපා වෙන් කර තිබුණේ කිතුල් මල් කපනා තියුණු පිහියකිනි. පොලිසිය සඳහන් කළ පරිදි එම තරුණයා කිතුල් හකුරු සාදන්නෙකි. එමෙන්ම අලුත උපන් බිළිඳිය නහවා තිබුණේ පැණි උණු කරනා තාච්චියකය. කිතුල් මල් කපනා පිහියෙන් පෙකෙණිය කපා දැමූ, කැලයෙන් සොයාගත් නාඳුනන අත්බෙහෙත්වලින් දරුවාට ප්‍රතිකාර කළ ඒ තරුණ පියා ඇතැමුන් සමාජ මාධ්‍යවල උත්ප්රාසයට ලක්කෙරූ අයුරින් ‘පොරක්’ වත් ‘මාර කොල්ලෙක්’ වත් නොව, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ළමා අපයෝජකයකු පමණි. මෙය, මේ රටේ මුල් බැසගත් නූගත්කමේ, අන්ධ විශ්වාසවල සහ පවුල් ආයතනය බිඳ වැටීමේ භයානක මුහුණුවර ලෝකයටම හෙළිදරව් කරන්නකි. මල් පිපෙන වයසේදීම පල දැරීමට ගොස් මුල් සිඳී ගිය ළමා මව්වරුන්ගේ කතා හුදෙක් ප්රවෘත්තියකට වඩා මහා ඛේදවාචකයකි. අප කතා කළ යුත්තේ පෙකිණි වැලක් මන්නෙකින් කපා දැමූ වීර පියා ගැන නොව, මේ ඛේදවාචකය ගැනය. වරින් වර පොඩි වුණු මලක්… මේ ඛේදවාචකයේ සැබෑ බිහිසුණුකම සැඟවී ඇත්තේ ඇය ලාබාල වයසකදී ගල් ගුහාවක දරුවෙකු වැදූ සිද්ධියේ පමණක්ම නොව, ඒ පිටුපස ඇති සමාජයේ අතිශය නීච හා කුරිරු යථාර්ථය තුළය. උඩුදුම්බර පොලිසියට මේ පුවත වාර්තා වීමත් සමග සමාජ ජාලා හරහා දිග හැරුණේ පෙනෙන දේ පමණක් දැක, නොපෙනෙන කුරිරු සත්‍යය යටපත් කළ නාට්‍යයකි. නමුත් දින කිහිපයක් ඇතුළත කතාවේ මුහුණුවර මුළුමනින්ම වෙනස් විය. මීට මාස පහකට පෙර, ඒ වන විටත් ගැබිනියකව සිටි මේ පහළොස් හැවිරිදි දැරිය නිවසින් අතුරුදන් වූ පසු, පෙම්වතා යැයි කියාගත් තරුණයා විසින් ඇයව නකල්ස් කඳු මිටියාවතේ ගල් ගුහාවක සඟවාගෙන රැකබලා ගෙන ඇත. පොලිසියට හෙළි වූ පරිදි මේ ‘කුඩා අඹුසැමියන්’ හට පවුල් කන්නට මූල්‍යමය හා බාහිර උදව් කර තිබුණේ තරුණයාගේ තිස් හැවිරිදි මාමාය. ඉඳහිට කන්ද පහළ කඩමණ්ඩියට ගොස් හාල් ටිකක්, තුනපහ ටිකක් ගෙන එමින් පෙම්වතා කළ ‘ප්‍රේමනීය රැකබලා ගැනීම’ දුටු ප්‍රායෝගික බුද්ධියක් නොමැති සෙනඟක්, මේ කතාවේ මතුපිට පෙනුමෙන් පමණක් මුසපත් වී ප්‍රේමණීය හැඟීම්වලින් දිය වී ගියහ. ඔවුහු සිය ෆේස්බුක් පිටු පුරා ‘තමන්ගේ ගැබිණි පෙම්වතිය අතරමං නොකෙරූ ආදරණීය ප්‍රේමවන්තයා’ ලෙස අර්ථකථන දෙමින් නිසදැස්, කව් ගී සහ සෙත් කවි ලියූහ. අඳුර පෙනෙන්නට තිබූ තැන ඇතැමුන් දුටුවේ සුරංගනා ආදර කතාවක චමත්කාරයක් පමණි. එහෙත්, ඉස්සරින්දා සෙත් කවි කී අයටම පහුවදා වස් කවි කියන්නට සිදුවිය. පසුව වාර්තා වූ පරිදි සැබෑ කතාව මෙසේය. තරුණයාගේ තිස් හැවිරිදි මාමා ඔවුන්ට සැඟවී සිටීමට උදව් කළ බව ඔවුන් පොලිසියට මුලින් පැවසුවද, පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන සිදු කළ ගැඹුරු පරීක්ෂණවලදී හෙළි වූයේ නින්දිත සිදුවීමකි. පොලිසිය පවසන පරිදි දැරිය අට ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී 2023 ඔක්තෝබර් මාසයේදී මුල් වරට අතවරයට ලක්ව තිබුණේ උදව් කළා යැයි කියනා මේ 30 හැවිරිදි මාමා අතිනි. ඉන් පසු එම වසරේදීම පෙම්වතා අතින්ද ඇය එම අපරාධයටම ගොදුරු වී තිබේ. එතැන් පටන් මෙම වසරේ ජූලි මස ඇයව නිවසින් රැගෙන ගොස් අගෝස්තු මාසයේ දරු ප්‍රසූතිය සිදු කරනා තෙක් සහ ඉන් පසුවත්, මේ අහිංසක දැරිය අවස්ථා ගණනාවකදී මොවුන් දෙදෙනා විසින්ම අතවරයට ලක්ව ඇත. සමාජ ජාලා හරහා මේ අපරාධය ‘රොමැන්ටිකීකරණය’ කරමින් කවි ලියූ පිරිස නොදන්නා බිහිසුණු සත්‍ය වූයේ මෙයයි. මෙය කිසිසේත්ම පෙම්වතුන් දෙදෙනෙකුගේ ප්‍රේම කුණාටුවක් නොව. ඉන් හෙළි වන්නේ එක් දරුවකු වටා මහා වැඩිහිටි ජාලයක් එක් වී කළ ගැහැට සහ ඒ ගැන ඇගේම මව්පියන් දැක්වූ අන්ධ නිහඬතාවයයි. අවු. 15 කියන්නේ සිය අනන්‍යතාවය සොයනා වයසක්… ළමා වියේ සහ නව යොවුන් වියේ සීමාවන් ඉක්මවා යමින්, ජීවිතය මුහුකුරා යෑමටත් මත්තෙන් අතිශය අභියෝගාත්මක බරක් කරට ගැනීමට සිදුවන දරුවකුගේ මනස කුඩා කැබලිවලට කැඩෙන්නේ කෙසේද යන කරුණ පිළිබඳව ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ අශෝක ප්‍රියදර්ශනගෙන් අප විමසීමක් කළෙමු. “අවුරුදු පහළවක් කියන්නේ තවමත් නව යොවුන් වියට මානසිකව සහ කායිකව හැඩගැහෙමින් ඉන්න වයසක්. ජීවවිද්‍යාත්මකව දරුවෙකුට තවත් දරුවෙක් හැදීමේ සහ දැරීමේ පරිණත හැකියාවක් නෑ. මොකද ඒකෙන් අම්මට වගේම දරුවටත් බරපතළ හානියක් වෙන්න තියෙන අවස්ථාව වැඩියි. සංවර්ධන මනෝවිද්‍යාවේදී අවුරුදු 15 දරුවෙක් හඳුන්වන්නේ තමන්ගේ අනන්‍යතාවය සොයමින් ඉන්නා දරුවෙක් විදිහට. දරුවෙක්ට නිවැරදි මාර්ගෝපදේශනයක් නැති වුණාම ඔවුන්ට තමන් කවුද කියලා හොයාගැනීමේ ගැටලුවක් පැනනඟිනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට දරුවා ව්‍යාකූල මානසිකත්වයට පත්වෙනවා.” එසේ නම් මෙවැනි දරුවෙකු අනාරක්ෂිත වළල්ලකට මැදිවන්නේ හුදෙක් ඔවුන්ගේ නොමඟ යෑමකින් පමණක්ම නොව, නිවෙසින් ලැබිය යුතු මව්පිය රැකවරණය නියමිත පරිදි නොලැබී යෑම නිසාය. නිවසක පැවැත්මට අවශ්‍ය මූලික කුලුනු වන ආදරය, සෙනෙහස සහ යම් පාලනයක් සහිත බව ගිලිහී ගිය විට, දරුවාගේ ජීවිතය පිටස්තර සමජයේ ජීවත් වන කපටි නරින්ට ගොදුරු කරගැනීමට තරම් විවෘත වේ. පවුල් සංස්ථාව සහ මව්පිය වගකීම මෙහිදී කොතරම් තීරණාත්මක ද යන්න ඔහු තවදුරටත් පැහැදිලි කරන්නේ මෙලෙසිනි. “පවුලක අනිවාර්යයෙන්ම ආදරය, රැකවරණය, යම් ආකාරයක පාලනයක් සහ සතුටක් තිබිය යුතුයි. මේවා නඩත්තු කිරීමේ පූර්ණ වගකීම තියෙන්නේ අම්මටයි තාත්තටයි. මේ වගකීම ගිලිහුණොත් වෙන්නේ දරුවා අනාරක්ෂිතභාවයට පත්වෙන එක. බරපතළම කාරණය තවත් පිටස්තරයෙක්ට මේ දරුවන්ට බලපෑමක් එල්ල කරන්න තියෙන අවකාශය වැඩි වෙන එක.” සමාජයක් වැළඳගත් තුවාලයක් ‘ළමා මව්වරුන්’ යනු අපේ රටට අලුත් මාතෘකාවක් නොව. යාන්තමින් ඇඟපත මෝරා වැඩෙන වයසේදීම තුරුණු වියට එළැඹීමටත් පෙර ළමා විය ද අහිමි කරගෙන ඇතැම් දැරියන් මව්වරුන් බවට පත්වීම රටේ විශාල ඛේදවාචකයකි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දත්තවලට අනුව, මෙරට බාලවයස්කාර ගැබ්ගැනීම් ප්‍රතිශතය 2009 දී 6.5% ක් විය. එය 2023 වන විට 3.8% දක්වාත්, 2024 වන විට 3.6% දක්වාත් තරමක් අඩු වී තිබුණි. එය අපට සතුටු වීමට හේතුවක් විය හැකි වුවත්, එයින් අපේ ජාතික ලැජ්ජාව සහ පද්ධතිමය බිඳ වැටීම මැකී යන්නේ නැත. අදටත් වසරක් පාසා බාලවයස්කාර මව්වරුන් මෙරටින් වාර්තා වෙති. ඔවුන් බොහෝ විට අවුරුදු 13ත් 19ත් අතර පසුවන ළමුන්ය. ළමා ආරක්ෂණ අධිකාරියට අනුව මෙම වසරේ වාර්තා වූ නව යොවුන් ගැබ්ගැනීම් ගණන 35කි. මේ අතරින් 19 දෙනකුම ඒ තත්ත්වයට පත්ව තිබුණේ පෙම්වතුන් නිසාය. නව යොවුන් ප්‍රේමවන්තයන් අතර සිදුවන එවැනි ක්‍රියා නීතිමය අතින් මෙන්ම සදාචාරාත්මකවත් අනුමත කළ නොහැකි වුවත්, වර්තමාන සමාජය තුළ නව යොවුන් වියේ තරුණ තරුණියන් අතර සිදුවන ප්‍රේම සබඳතාවල ප්‍රතිඵල ලෙස මතුවන මෙවැනි තත්ත්වයන් බහුලව වාර්තා වන දෙයකි. නමුත්, අහස පොළොව නුහුලන, හදවත් දෙදරා යන මහා අපරාධය වන්නේ මෙම වසරේ වාර්තා වූ නව යොවුන් ගැබිනියන් අතරින් එක් දැරියක් ගර්භණීභාවයට පත්ව ඇත්තේ තමන්ගේම ජීව විද්‍යාත්මක පියා අතින් වීමය. මනුෂ්‍යත්වයේ මුල් බැසගත් සියලු සදාචාරාත්මක සීමාවන් සහ මානව දයාව අමු අමුවේ බිඳ දමමින්, පියෙකු තම ලෙයින් උපන් දරුවෙකුට එරෙහිව එවැනි කුරිරු අපරාධයකට පෙළඹීම හුදු කාම ආශාවකට වඩා එහා ගිය දැඩි මානසික විකෘතියකි. මනෝවිද්‍යාත්මක හා අපරාධ විද්‍යාත්මක විග්රහයන්ට අනුව, මෙවැනි විපරීත ප්රවණතාවලට මුල් වන්නේ පවුල් සංස්ථාව තුළ බලය අයුතු ලෙස භාවිත කිරීම, දැඩි මානසික අස්ථායීභාවය, ස්වයං පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී යෑම සහ මනුෂ්‍යත්වයේ මූලික හැඟීම් පවා යටපත් වී යන මට්ටමේ පවතින ගැඹුරු පෞරුෂ ආබාධයන්ය. තමන්ගේම පියාගෙන් පමණක් නොව, සිය මුත්තනුවන් විසින් ගැබ්ගත් දරුවෝ දෙදෙනෙක්ද මේ අතර සිටිති. සුළු පියාට දාව දරුවෙකුට උපත දුන් එක් දැරියකි. මෙම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වන්නේ, දරුවන්ට ලෝකයේ වඩාත්ම ආරක්ෂාව ලැබිය යුතු තැන් සහ පුද්ගලයන්ම ඇතැම් විට වඩාත්ම අනාරක්ෂිත ස්ථාන සහ පුද්ගලයන් බවට පත්ව ඇති බවය. පොලිසියට දැනුම් නොදී සිටීමට වෛද්‍යවරුන්ට පුළුවන් ගැබ්ගත් දරුවෙකු රෝහලට පැමිණියහොත් වෛද්‍යවරු එය පොලිසියට දන්වන නිසා, බොහෝ දරුවන් සහ ඔවුන්ගේ වැඩිහිටියන් රෝහල් කරා යෑමට බිය වෙති. නමුත් මෙවැනි අයකුට ප්‍රතිකාර ලබාදීම වෛද්‍යවරයකුගේ වගකීමක් නිසා පොලිසියට දැනුම් නොදී සිටීමට වෛද්‍යවරුන්ට අයිතියක් ඇති බව වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ පවසයි. එමෙන්ම, අපේ රටේ දරුවන්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට පසුබට වීම අප සමාජයක් ලෙස දක්වන අතිශය බරපතළ අඩුපාඩුවකි. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය සෑම දරුවෙකුටම ඔවුන්ගේ කායික, මානසික සහ සමාජීය සංවර්ධනයට උපකාරී වන ජීවන තත්ත්වයක් භුක්ති විඳීමේ අයිතිය තහවුරු කරයි. යුරෝපය ඇතුළු බොහෝ දියුණු රටවල පාසල්වල වයසට සරිලන ලිංගික අධ්‍යාපනය විෂය නිර්දේශයට ඇතුළත් කර ඇත්තේ එබැවිනි. ඒ පිළිබඳව ඔහු පැවසුවේ මෙවැන්නකි. “වෙන රටවල තුන හතර ශ්‍රේණි වල දරුවන්ට ලිංගික දැනුම වයසට සුදුසු පරිදි කාටුන් අනුසාරයෙන් ලබා දෙනවා. ඒ දරුවන්ට ඒ කාලයේ ලිංගික හෝමෝන ක්‍රියාත්මක නොවන නිසා මේවා කියා දීම තුළ ලිංගික උත්තේජනයන් ඇතිවන්නේ නෑ. නමුත් නව යොවුන් වියේ දරුවන්ට මේවා කියාදෙන්න යෑම තුළ ඔවුන් ඒවා ලිංගික උත්තේජනයන් ලබා ගැනීමට භාවිත කරනවා. ඒ නිසා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්න ඕනේ ලිංගික හෝමෝන ක්‍රියාත්මක වන නව යොවුන් වියේ නොවෙයි, ඊට බොහෝ කලින්. අපේ රටේ වැඩිපුරම සිදුවන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියන වරද. එනම් වයස අවුරුදු දහසයට අඩු ගෑණු ළමයකු සමග ඇගේ කැමැත්ත ඇතුව හෝ නැතුව ලිංගික සම්බන්ධතා පැවැත්වීම. නමුත් මෙහිදී කරුණු සොයා බැලූ විට දක්නට ලැබෙන්නේ එම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණවලින් 99% වඩා ගැහැණු ළමයාගේ කැමැත්තෙන් සහ ඇගේ ඉල්ලීම මත සිදු වූ ලිංගික සම්බන්ධතා බවයි. රජය ළමයින් වටා සුරක්ෂිත වැටක් නිර්මාණය කිරීමට කෙතරම් උත්සාහ කළත් වැට ඇතුළත සිටින දරුවන්ම මේ සඳහා පෙළඹීම මගින් එම උත්සාහය අසාර්ථක වෙනවා. ඇත්ත වශයෙන්ම සිදුකළ යුත්තේ කුඩා අවධියෙහි ලිංගික සම්බන්ධතාවලට පෙළඹීම නිසා එම ගැහැණු දරුවන්ට සිදුවන කායික, මානසික, සෞඛ්‍යමය, සමාජමය ප්‍රතිවිපාක ගැන අවබෝධයක් ලබා දීමයි.” කෙසේ වෙතත් නකල්ස් සිදුවීමට අදාළ දැරිය සහ බිළිඳියගේ සුබසාධනය සහ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම උදෙසා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදීමට නියමිත මාසික ජීවන වියදම් දීමනාව අප අගය කළ යුත්තකි. මේ වනවිට ඇය අ.පො.ස. සා/පෙළ විභාගයට අයැදුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ඇයට අවශ්‍ය මනෝ උපදේශන ලබාදීමට ද අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඇගේ අනිවාර්යය අධ්‍යාපන වයස අවසන් වනතුරු ඇගේ රුචිකත්වය පරිදි උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන තුරු මෙම දීමනාව ඇයට සැපයෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි. මේ ක්‍රියාව අගය කළ යුත්තක් වුවත් ඒවායින් මෙවැනි ඛේදවාචක අනාගතයේදී වළක්වා ගත නොහැකිය. සහනාධාර යනු වැටුණු අයෙකුට තාවකාලික අත්වැලක් සැපයීමක් පමණි. නමුත්, සමාජයේ මුල් බැසගත් ගැටලුවකට ස්ථිර විසඳුමක් අත්‍යවශ්‍යය. රටේ ළමා මව්වරුන් බිහිවීමේ ප්‍රවණතාව පාලනය කරගැනීමට නම් දූරදර්ශී, තිරසාර වැඩපිළිවෙළක් සහ ශක්තිමත් නීතිමය හා සමාජයීය පිළියමක් අනිවාර්යයෙන්ම රට තුළ ක්‍රියාත්මක විය යුතුය. නකල්ස් කන්ද නැවතත් එහි සුපුරුදු මීදුමෙන් සැඟවී යනු ඇත. ඉදිරියේදී කවදා හෝ දිනක ඒ ගල්ගුහාව ඉදිරියේම හෝ කවියෙකු තවත් අපූරු පද පේළි ලියනු ඇත. එහෙත්, ඒ අඳුරු ගුහාවේ දිවි ගෙවූ කුඩා දැරිය නැවත පාසලේ සාමාන්‍ය බංකුවට පැමිණෙන තෙක්, ඇගේ අහිංසක බිළිඳිය කිසිදු බියකින් තොරව ලොවට හිනැහෙන තෙක්, අපි සියල්ලෝම සමාජයක් ලෙස බලා සිටින්නෙමු. ස්වභාවධර්මයේ නීතියට අනුව පැසුණු පලතුරක් ගසින් වැටෙන්නේ නියමිත කාලය පැමිණි විටය. එහෙත් අමු ගෙඩියක් නියමිත කාලයට පෙර බිමට හෙළන්නේ අප අතරම සිටිනා කුරිරු දෑත්ය. අද ඒ දැරියට අවශ්‍ය වන්නේ හිස් අනුකම්පාවක් නොව, ඇය සහ ඇය වැනිම දැරියන් වෙනුවෙන් තීරණාත්මක ලෙස ක්‍රියා කරනා සවිඥානික සමාජයකි. දරුවෙකුගේ සැබෑ ළමා කාලය නැවත කිසිදු දිනක ළඟා කර දීමට කිසිවෙකුටත් නොහැකිය. එහෙත්, තවත් කිසිදු දරුවෙකුට එවැනි ගුහාවක දොරටුවක් ඉදිරියේ අනාගතය අහිමි නොවෙන සේ සමාජය තබන සෑම පියවරක්ම, ජාතියේ අනාගතය උදෙසා පෙනෙන එකම සැබෑ ආලෝකය වනු ඇත. එරංදි කෞශල්‍යා මද්දුම kaushalyaerandi773@gmail.com

