
රුසියානු හමුදාවට රිංගා නීතියෙන් බේරෙන්න හැදූ ‘රොටුඹ අමිල’ ශ්‍රී ලංකාවට
FM Heart · 7 min read
පොඩි ඩීල්කාරයකුව සිට මාකඳුරෙ මධුෂ් සමග එකතුවී පාතාල කල්ලියක් දක්වා ගිය ගමන් මඟ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන අමිල සම්පත් රත්නායක හෙවත් ‘රොටුඹ අමිල’ සිකුරාදා (නොවැම්බර් 20 වන සිකුරාදා) රුසියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. ඔබ මෙය කියවන මොහොත වනවිට ඒ කාලකණ්ණි අපරාධකරුවා අපරාධ විමර්ශන අංශ අත්අඩංගුවේ ය. දැනට ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල මර්දනය කිරීම සඳහා රජය සහ ආරක්ෂක අංශ ගෙන යන දැඩි ක්‍රියාමාර්ගවල තවත් වැදගත් සලකුණක් මතු කරමින් රොටුඹ අමිල ලංකාවට කුදලාගෙන එනු ලැබ ඇත්තේය. ඔහුව මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ නිලධාරී කණ්ඩායමක් රුසියාව වෙත ගොස් අවශ්‍ය නීතිමය හා පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කරමින් මෙහෙයුම සිදුකර තිබිණි. කවුද මේ ‘රොටුඹ අමිල?’ අමිල සම්පත් හෙවත් අමිල සේපාල රත්නායක නමින් හැඳින්වෙන ඔහු, පාතාල අපරාධකරුවන් අතර ප්‍රකට වූයේ ‘රොටුඹ අමිල’ යන අන්වර්ථ නාමයෙනි. මාතර දිස්ත්‍රික්කයේ රොටුඹ ප්‍රදේශය ඉපදුන මේ හාදයා ඔහු මුල් කාලයේ දී කැපී නොපෙනුන පොඩි ඩීල්කාරයෙකි. ප්‍රධාන වශයෙන්ම මාකඳුරේ මධුෂ්ගේ කුණු කොන්තරාත් කරගෙන හිටි බත් බැලයෙකි. මේ අපරාධකරු සම්බන්ධව මුලින්ම කවුරුත් දැනගෙන නොසිටියත් ඔහු සම්බන්ධව සංවාදයක් ඇති වන්නේ 2019 දී ඩුබායිහි පැවති මාකඳුරේ මධුෂ්ගේ කුප්‍රකට පාටිය ඩුබායි අපරාධ විමර්ශන අංශ විසින් වටලා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේදී ය. ඒ අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආ අපරාධකරුවන් අතර සිටි කංජිපානි ඉම්රාන් ඇතුළු කල්ලියේ රොටුඹ අමිලත් සිටියේය. මේ හාදයා ගැන වැඩි බරකින් සොයන්නටත් උගේ අපරාධ සම්බන්ධතා ගැන සොයන්නටත් පසුබිම සකස් වන්නේ ඉන් අනතුරුවය. අවුරුද්දකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි මේ අපරාධකරුට පසුව ඇප ලැබුණේය. ඔහුට ගුවන්ගමන් තහනමක් ද නිකුත් විය. එහෙත් ඔහු ගැන වඩාත් පුළුල් ලෙස තොරතුරු අනාවරණය වනවිට ඔහු මුහුදු මාර්ගයෙන් රටින් පැන ගත්තේය. මාකඳුරේ මධුෂ්ගේ ඝාතනයෙන් පසු කංජිපානි ඉම්රාන්, හරක් කටා සහ මිදිගම ලසා වැනි මෙරට පාතාලයේ ප්‍රබල චරිත සමග සමීප සබඳතා පවත්වමින් අපරාධ ක්ෂේත්රයට පිවිසි ඔහු, පසුව ඔවුන් සමග ඇති වූ ගැටුම් හේතුවෙන් ස්වාධීන අපරාධ කණ්ඩායමක් ගොඩනගා ගනිමින් විදේශ රටවල සැඟව සිට මෙරට ඝාතන හා කප්පම් ජාල මෙහෙයවීමට කටයුතු කළ බව විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබුණේය. රුසියාවේ අත්අඩංගුවට පත්වීම සහ පුරවැසිභාවය ලබාගැනීමේ අසාර්ථක උත්සාහය අමිල සේපාල රත්නායක නොහොත් අමිල සම්පත් රත්නායක යන නම්වලින් පෙනී සිටි ‘රොටුඹ අමිල’, ජාත්‍යන්තර පොලිසිය (Interpol) මගින් නිකුත් කර තිබූ රතු නිවේදනයක් (Red Notice) මත පදනම්ව 2025 මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රුසියානු බලධාරීන් මේ පිළිබඳව Interpol හරහා ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය. ඔහු රුසියාවේදී අත්අඩංගුවට පත් වන්නේ සංකීර්ණ පලා යෑම් කීපයකින් පසුය. මුලින්ම මුහුදු මාර්ගයෙන් පලා යන ඔහු නැවත මතුවන්නේ කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී බෙලරූස් සිට රුසියාවට පලා යෑමට කළ උත්සාහයක දී ය. එහිදී අත්අඩංගුවට පත් කංජිපානි ඉම්රාන් සහ රොටුඹ අමිල ආරක්ෂක අංශවලින් ගැලවුණ බව වාර්තා විය. අනතුරුව ඔහු ගැන දිගින් දිගටම විමර්ශන සිදුවිය. අමිල රුසියාවේ දී එරට ආරක්ෂක අංශ වෙත කොටු වන්නේ ඒ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය. 2025 මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක අංශ මඟින් ‘රොටුඹ අමිල’ අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය ජාත්‍යන්තර පොලීසිය හරහා එම මාසය අගදී ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දී තිබිණි. ඒ අනුව, උදර්පණ නීතිය (Extradition Law) යටතේ ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කෙරුණද, ඔහු එරට අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සහ ව්‍යාජ වීසා භාවිතය සම්බන්ධ ආගමන නීති නඩුව හේතුවෙන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය දිගින් දිගටම ප්‍රමාද විය. එම අධිකරණ ක්‍රියාවලිය අතරතුර ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම ස්ථිරවම වළක්වා ගැනීමේ සූක්ෂ්ම උපායක් ලෙස 2026 මුල් භාගයේදී රුසියානු හමුදාවට බැඳී එරට පුරවැසිභාවය ලබාගැනීමට ‘රොටුඹ අමිල’ නිල වශයෙන් ඉල්ලීමක් කර තිබිණි. මෙරට බුද්ධි අංශ මඟින් අනාවරණය කරගත් මෙම රහසිගත සැලසුම පිළිබඳව ශ්‍රී ලංකා පොලිස් බලධාරීන් සිදු කළ විමර්ශනවලින් පසු, ශ්‍රී ලංකා ආරක්ෂක හා රාජ්‍ය තාන්ත්‍රික අංශවල ඒකාබද්ධ මැදිහත්වීම හමුවේ ඔහුගේ එම උත්සාහය සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කිරීමට හැකි විය. රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමේ සාර්ථකත්වය 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව, රුසියාව, ඩුබායි සහ ඕමානය ඇතුළු විදේශ රටවල සැඟව සිටි ප්‍රබල පාතාල චරිත මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ Interpol ශාඛාව (CID), නීතිපති දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කළ නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකරණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, රුසියානු ආගමන නඩුව අවසන් වීමත් සමග 2026 නොවැම්බර් මාසයේදී ඔහුව ශ්‍රී ලංකාවට භාර දීමට රුසියාව අවසර ලබා දුන්නේය. රොටුඹ අමිලගේ අපරාධ ඉතිහාසය සහ සම්බන්ධතා ඔහුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනා කීපයකි. ● 2018 ඔක්තෝබර් 27 වෙඩි තැබීම: මාතර රොටුඹ ප්‍රදේශයේ වෙළඳසලක් තුළදී ව්‍යාපාරික නාලක පුෂ්ප කුමාර සහ ඔහුගේ සහායක ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන දෙදෙනාට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ මොහුය. දුරකථන විශ්ලේෂණ මගින් මෙම ප්‍රහාරය ඩුබායි සිට මෙහෙයවා ඇති බව හෙළි වූයේය. ● ඇප ලබා ගෙන සිටිය දී රටින් පලා යෑම (2019): 2019 වසරේදී මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග මධුෂ්ගේ කුප්‍රකට ඩුබායි පාටියේ දී මොහු ඩුබායි ආරක්ෂක අංශවලට පත්වන කණ්ඩායමේ සිටියේය. පසුව මධුෂ්, කංජිපානි ඇතුළු කල්ලියත් සමග මොහු මෙරටට පිටුවහල් කෙරිණි. එහෙත් අධිකරණයෙන් ඇප ලබාගැනීමෙන් පසු ඔහු නීතිය මඟහැර නැවතත් විදේශයකට පලා ගියේය. ● ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සහ පාතාල ගැටුම්: සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන්ද පොලිසිය මොහු සැකකරුවකු ලෙස නම් කර ඇත. කලක් ‘හරක් කටා’ (නඳුන් චින්තක වික්‍රමරත්න) සහ ‘මිදිගම ලසා’ (ලසන්ත වික්‍රමසේකර) සමග සමීප සබඳතා පැවැත්වුවද පසුව ඔවුන් අතර දැඩි විරසකයක් හටගෙන තිබිණි. 2025 ඔක්තෝබර් 22 වන දින වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර (මිදිගම ලසා) වෙඩි තබා ඝාතනය කළ අවස්ථාවේදී රොටුඹ අමිලගේ පාර්ශ්වය වෙත සැකය එල්ල වුවද, ඒ වන විටත් ඔහු රුසියානු බන්ධනාගාර භාරයේ පසු වූ බව තහවුරු විය. ‘රටම එකට’ වැඩසටහන තුළ පාතාල ජාල වෙත එල්ලවන ප්‍රහාරය: මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන ‘රටම එකට’ වැඩසටහන හරහා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම, සාම්ප්‍රදායික පොලිස් වැටලීම්වලින් ඔබ්බට ගිය විද්‍යාත්මක ප්‍රවේශයක් පෙන්නුම් කරයි. අපරාධ විද්‍යාත්මක (Criminological) දෘෂ්ටිකෝණයකින් මෙම තත්ත්වය පහත පරිදි විග්රහ කළ හැකිය: ‘හිස ගසා දැමීමේ උපායමාර්ගය’ (Decapitation Strategy): ශ්‍රී ලංකාවේ පාතාල ක්‍රියාකාරකම්වල ප්‍රධාන ලක්ෂණයක් වූයේ අපරාධ නායකයින් ඩුබායි, රුසියාව, ඉන්දියාව වැනි රටවල සුරක්ෂිතව සිටිමින් දුරස්ථව (Remote Control) මෙරට ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවීමය. මෙරට සිටින පහළ මට්ටමේ වෙඩික්කරුවන් (Foot Soldiers) අත්අඩංගුවට ගත්තද ජාලය බිඳ නොවැටුණේ නායකත්වය විදේශගතව සිටි බැවිනි. Interpol රතු නිවේදන සහ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් හරහා ප්‍රධාන මොළකරුවන් (Kingpins) මෙරටට ගෙන්වා ගැනීම හරහා අපරාධ ජාලයේ මධ්‍යම ස්නායු පද්ධතිය අඩපණ කිරීමට ආරක්ෂක අංශ සමත්ව ඇත. අපරාධ පරිසර පද්ධතිය බිඳ දැමීම (Disrupting the Criminal Ecosystem): ‘රටම එකට’ වැඩසටහනේ ප්‍රධානතම ශක්තිය වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය සහ මහජනතාව ඒකාබද්ධ වීමය. අපරාධ විද්‍යාවේ ‘සාමූහික කාර්යක්ෂමතාව’ (Collective Efficacy) ලෙස හඳුන්වන මෙම සංකල්පය තුළ, ගම් මට්ටමේ සිට මහජනතාව තොරතුරු ලබා දීමට ඉදිරිපත් වීම නිසා අපරාධකරුවන්ට සමාජය තුළ තිබූ රැකවරණය (Safe Havens) අහිමි වී තිබේ. චර්යාත්මක නිවාරණය (Deterrence Theory): අපරාධයක් සිදුකර විදේශගත වීමෙන් හෝ වෙනත් රටක හමුදාවකට බැඳී පුරවැසිභාවය ලබාගැනීමෙන් පවා නීතියෙන් ගැලවිය නොහැකි බවට ‘රොටුඹ අමිල’ සිද්ධිය ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි. දඬුවමේ නියතභාවය (Certainty of Punishment) තහවුරු වීම තුළින් අනාගතයේ අපරාධවලට යොමු වීමට සිටින පිරිස් තුළ දැඩි චර්යාත්මක බියක් හා පසුබෑමක් ඇති කිරීමට මෙය සෘජුවම බලපායි. බුද්ධි තොරතුරු හරහා අභ්‍යන්තර ජාල හෙළිදරව් වීම: හෙට දිනයේදී රොටුඹ අමිලගෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් හරහා දකුණු පළාතේ මෙතෙක් නොවිසඳුණු ඝාතන රැසක තොරතුරු මෙන්ම, පාතාලයට ආධාර අනුබල දුන් දේශපාලන හා රාජ්‍ය නිලධාරී සබඳතා පිළිබඳවද කරුණු අනාවරණය වනු ඇති බව කිව යුතුය. මේ ප්‍රහාරය තීව්රත්වය සම්බන්ධව ගැටලුවක් නැත. එහෙත් අප අත්දකිමින් ඇති ප්‍රශ්න කරමින් ඇති යථාර්ථය නම් තවමත් ගමේ හන්දියේ ගුබ්බෑයම්වලත් අයිස් පැකට් එකක් සොයා ගැනීම අපහසු නොවීමය. මේ ජාලය මොනතරම් මේ සමාජය විනිවිද ඇති ද යන්න අප කම්පනයට පත් කරන්නේය. එය සමාජ ස්ථරවල සියලුම නියෝජනයන් සහිතව සැකසුන නොපෙනෙන සංකීර්ණයකි. එබැවින්ම එය අඩපණ කිරීම අප හිතනවාට වඩා ගැඹුරු කැපකිරීම් සහිත මෙහෙයුමක් විය යුතු බව පෙනෙමින් තිබේ. ගයාන් සමරසිංහ

