
ආණ්ඩුවේ 159න් එක් අයෙකු හෝ අයථා ලෙස වත්කම් උපයා ඇත්නම් ඔප්පු කරන්න--
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
“මේ රටේ මිනිස්සුන්ට කන් ඇහෙනවා. රටේ මිනිස්සුන්ට හිතන්න පුළුවන්. දැන් වෙන දේවල් මිනිස්සු දකිනවා, මිනිස්සුන්ට වෙච්ච දේවල් ඇහුණා, දැන් වෙන දේවල් ඇහෙනවා. ඒ නිසා විපක්ෂයට අලුතෙන් කෑගහන්න අවශ්‍ය නැහැ. නීතියේ ආධිපත්‍යය ආරක්ෂණය මහජනතාවට දැනෙද්දී විපක්ෂය කලබල වෙලා, විපක්ෂයේ බලු කෙඳිරිලි වැඩි වෙලා තිබෙනවා. ඒකට අපි බය වෙන්නේ නැහැ. පසුගිය කාලයේ අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව තිබුණත් ඒක ක්‍රියාත්මක වෙන බවට පෙනෙන්නට පටන් ගත්තේ 2024දී අපි බලයට පත්වුණාට පස්සේ. මේ ගත වූ කාලය තුළ සැකකරුවන් 330 දෙනෙකුට එරෙහිව නීතිවිරෝධි වත්කම් විමර්‍ශන ආරම්භ කර තිබෙනවා. 2024 වසරේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 45 දෙනෙකුට අයත් රුපියල් මිලියන 1,597ක දේපළ හා වත්කම් අක්‍රිය කර තිබෙනවා. 2025 වසරේ 33 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා, එය මුදලින් රුපියල් මිලියන 1,546ක්. උදේ එක මන්ත්‍රීතුමෙක් කතා කරනවා ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ කියලා, ආණ්ඩුව මේ මොනවාද කරන්නේ කියලා අහනවා. එදා බලයේ සිටියදී විපක්ෂයේ අය ඉස්පිරිතාලවල වැඩ කරපු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ කෙරුවාවල් ටිකක් මම කියන්නම්. කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් රුපියල් ලක්ෂ 80ක් රජයට පාඩු කිරීම; ඇප මත මුදා හැරලා නඩුව විභාග වෙමින් තිබෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල, ඥාති සංග්‍රහයෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව; අත්අඩංගුවේ සිට ඇප මත මුදා හැරලා නඩුව විභාග වෙමින් තිබෙනවා. ලිඳුල නගර සභාවේ හිටපු සභාපති, ලිඳුල නගර සභාවට අයත් ගොඩනැඟිලි කඩ කාමරයක් බදු දීමට අදාළව ලංසුව සකස් කිරීමේදී, වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී, අවම ලංසුව ඉදිරිපත් කළ ඉල්ලුම්කරුට ලබා දීමේදී රුපියල් 2,380,000ක මුදලක් අල්ලස් ලබාගෙන රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් නඩුව විභාග වෙමින් තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික ලුතිනන් කර්‍නල් නෙවිල් වන්නිආරච්චි, සිය ආදායමට වඩා රුපියල් මිලියන 28ක වත්කම් නීතිවිරෝධිව උපයා ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන විමර්‍ශන ක්‍රියාත්මක වෙනවා. හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පසුගිය රජයේ සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්‍මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් හා දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව විමර්‍ශන කටයුතු ආරම්භ කරලා විමර්‍ශන සිදු කරමින් තිබෙනවා. අකිල විරාජ් කාරියවසම්, සිය පෞද්ගලික ඉන්ධන පිරවුම්හලේ සේවය සඳහා රාජ්‍ය සේවකයන් යොදා ගැනීම මඟින් දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන විමර්‍ශනය කරමින් යනවා. රවී කරුණානායක, ජාතික ලොතරැයි මණ්ඩලයට අනුයුක්ත සේවකයන් පස්දෙනෙකු සිය පෞද්ගලික කාර්‍ය මණ්ඩලයට අනුයුක්ත කර ගනිමින් දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව විමර්‍ශනය කරමින් තිබෙනවා. විපක්ෂයේ මේ ලැයිස්තුව තව පැයක් විතර කියන්න පුළුවන්.”
Google AdSense
In-Article Ad

