
PTA වෙනුවට ඊට වඩා බරපතල මර්‍දන පනතක් ගෙනැල්ලා..- නිර්‍මාල්
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
අදහස් දැක්වීමක් සිදු කරමින් මහාචාර්‍යවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්‍තනයක් අපේක්ෂාවෙන් බලයට පැමිණ මෙවැනි මර්‍දනකාරී නීති සම්පාදනය කිරීමට හෝ පවත්වාගෙන යාමට කටයුතු කිරීම ආණ්ඩුවේ පැවැත්මට මෙන්ම එහි දේශපාලන සුජාතභාවයට ද බරපතළ හානියක් බවයි. "1979 වසරේ සිට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මෙරට ත්‍රස්ත මර්‍දන නීතිවල ඉතිහාසය දෙස බැලූ විට පෙනී යන්නේ, ඒවා ත්‍රස්තවාදය මර්‍දනය කිරීමට වඩා ජනතාවගේ දේශපාලන නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ විරෝධතා දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය මර්‍දනය කිරීමට අවභාවිත වූ බවයි. අනෙක් අතට, 1980 ගණන්වලදී උතුරේ මෙන්ම දකුණේද සන්නද්ධ නැගිටීම් තවදුරටත් උග්‍ර වීමටත් මෙවැනි දැඩි නීති හේතු වුණා මිස ඒවායින් ප්‍රචණ්ඩත්වය පාලනය වූයේ නැහැ." මෙම නීති සම්පාදනය පිටුපස පවතින ජාත්‍යන්තර පසුබිම පිළිබඳව කරුණු දැක්වූ ඒ මහතා, 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ ජෝර්‍ජ් බුෂ් පාලන සමයේ ආරම්භ වූ ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ නමැති ආකෘතිය මඟින් ලොව පුරා ව්‍යාප්ත කෙරුණු ජාතික ආරක්ෂක තන්ත්‍රයන් මෙරටට ද බලපෑම් කර ඇති බවත්, එම ආකෘතීන් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සමඟ නොගැළපෙන බවත් පැහැදිලි කළේය. වත්මන් මෙරට තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු අවධාරණය කළේ, වර්‍තමානයේදී ලංකාව තුළ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් හෝ සංවිධානවලින් ක්ෂණික ත්‍රස්ත තර්‍ජනයක් නොමැති බවයි. යම් අන්තවාදී කණ්ඩායමක් මතු වුවද ඒ සඳහා කටයුතු කිරීමට විකල්ප සාමාන්‍ය නීතිමය රාමුවක් පවතින බවත්, එබැවින් මෙවැනි අතිශය දැඩි ත්‍රස්ත මර්‍දන නීති මේ මොහොතේ මුළුමනින්ම අනවශ්‍ය බවත් ඔහු කියා සිටියේය. ආණ්ඩුව ගෙන එන මෙම පනතට විරුද්ධ වීමට විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම්වලට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පෙන්වා දුන් මහාචාර්‍යවරයා, මහජන සාකච්ඡාවකින් හෝ විනිවිදභාවයකින් තොරව සම්පාදනය වන මෙවැනි මර්‍දනකාරී නීති හමුවේ ජනතාව තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගිය යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

