FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්ධන මිල වැඩි කරන්නැයි සමාගම් බල කරනවා.. මොකද කරන්නේ..- බලශක්ති ඇමති

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ නොදමා රජය පාරිභෝගිකයන්ට උපරිම සහන සලසා ඇති පසුබිමක, මිල වැඩි කරගැනීමේ අරමුණින් පෞද්ගලික සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඉන්ධන මිල රුපියල් දහයකින් ඉහළ දැමීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්‍මාණය වුවද, රජය ඒ සඳහා ලබාදෙන රුපියල් හැත්තෑවක සහනාධාරය පිළිබඳව කිසිවෙකුත් අවධානය යොමු නොකරන බවයි. පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතත්, මෙරට වෙළෙඳපොළ තුළ එම ප්‍රමාණයටම මිල වැඩි නොකිරීමට රජය වගබලා ගත් බව හෙතෙම සඳහන් කළේය. ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රජය මීට පෙර රුපියල් බිලියන 57 ක් වෙන් කළ බවත්, ඉදිරි මාස තුන සඳහා ද තවත් රුපියල් බිලියන 41 ක මුදලක් සහනාධාර වෙනුවෙන් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය. ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ වැඩිවූ මිලෙන් සැලකිය යුතු කොටසක් රජය දරාගෙන ඇති අතර, පවතින දුෂ්කර තත්ත්වය හමුවේ ඉතිරි කොටසින් පංගුවක් දරාගන්නා ලෙස සමාගම්වලට දැනුම් දී ඇති බවද, පාරිභෝගිකයා වෙත පවරා ඇත්තේ ඉතා සුළු බරක් පමණක් බවද ඔහු පැහැදිලි කළේය. එසේ තිබියදීත් ඇතැම් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් හරහා සැපයුම සීමා කරමින්, තමන්ට අවශ්‍ය පරිදි මිල ඉහළ දැමීමට රජයට බලපෑම් එල්ල කිරීමේ ප්‍රයත්නයක් නිරීක්ෂණය වන බව සඳහන් කළ අමාත්‍යවරයා, සමාගම්වලට ගිවිසුම්ගත මිල සූත්‍රය අනුව පිරිවැය පාදක මිලකරණයකට යාමට හැකියාව තිබුණ ද, කෘත්‍රීමව සැපයුම අඩාල කර ජනතාව අපහසුතාවට පත්කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බව පැවසීය. එම සමාගම් අඛණ්ඩව මෙලෙස කටයුතු කරන්නේ නම්, ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීම ඇතුළු ගත හැකි සියලු නීත්‍යනුකූල පියවර ගැනීමට රජය පසුබට නොවන බවත්, පෞද්ගලික අංශය වෙළෙඳපොළට එක් කරගත්තේ තරගකාරීත්වයක් තුළින් පාරිභෝගිකයාට වාසි සැලසීමට මිස ඔවුන්ගේ ඒකාධිකාරී බලපෑම් හමුවේ ජනතාව පීඩාවට පත්කිරීමට නොවන බවත් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad