
වසරකට තෙවරක් කතෝලික සභාව සමග සාකච්චා කරනවාට ජනපතිට ස්තුතියි..- අගරදගුරු
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
කාදිනල් හිමිපාණන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්‍යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ අතර, රජයට පවරාගෙන ඇති කතෝලික පාසල්වල පවතින පරිපාලන ගැටලු විසඳීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්හ. විශේෂයෙන්ම එම පාසල්වල කතෝලික ධර්‍මය ඉගැන්වීම සඳහා සුදුසු ගුරු මණ්ඩල සහ විදුහල්පතිවරුන් පත් කිරීමේදී පවතින බාධා ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්‍ඝ ලෙස සාකච්ඡා විය. කිසිදු භේදයකින් තොරව සියලුම සිසුන්ට තමන් අදහන ආගම ඉගෙනීමට ඇති අයිතිය තහවුරු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අගරදගුරුතුමන්, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ආගමික අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට රජයේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ද පැවසූහ. විශේෂයෙන්ම, වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ සාකච්ඡා පවත්වා පවතින ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟතාව පළ කිරීම පිළිබඳව කාදිනල් හිමිපාණන් මෙහිදී සිය විශේෂ ස්තුතිය පුද කළහ. එවැනි ක්‍රමවේදයක් හරහා සභාව සහ රජය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත හැකි බව උන්වහන්සේ විශ්වාසය පළ කළහ. මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමාරනායක, අගරදගුරු පදවි සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් ඇතුළු පියතුමන්ලා සහ රජයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Google AdSense
In-Article Ad

