FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ක්‍රිකට් දූෂණයට තිත තියන්න හදපු අලුත් පනතට කැබිනට් එකේ කොළ ලයිට් එක පත්තුවේ! ක්‍රිකට් පුටු රත්කරපු අයට වැඩ වරදින ලකුණු!

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනතුරුව අනුමැතිය සඳහා පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2026 ජූනි 08 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය, නියාමනය, ප්‍රවර්‍ධනය, සංවර්‍ධනය සහ පරිපාලන කටයුතු වඩාත් විධිමත් ලෙස සිදුකිරීම සඳහා නව ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ ආයතනය සංස්ථාපනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත. යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකිවයුතුභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්‍ම පෙරදැරිව ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණ වේ. තවද, සියලුම සහභාගිවන්නන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම මෙන්ම දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව මුදවාගැනීම සඳහා අවශ්‍ය බලතල සහ කර්‍තව්‍යයන් මෙමගින් නීත්‍යනුකූලව සම්පාදනය කර ඇත. අදාළ පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය හිමිව තිබේ. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ මුද්‍රණය කිරීමටත්, ඉන් අනතුරුව සම්මත කරගැනීම සඳහා පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Google AdSense

In-Article Ad