FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඥාණසාර හිමිගේ පොලිස් ආරක්‍ෂාව ඉවත් කෙරේ..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

රාජගිරිය, නාවල පාරේ පිහිටි සද්ධර්‍ම රාජික විහාරස්ථානයේ වැඩ වාසය කරන ඥානසාර හිමියන් වෙත ‘අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය’ මඟින් මෙම ආරක්ෂාව සලසා දී තිබිණි. ඒ අනුව වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දහවල් සහ රාත්‍රී කාලයේ උන්වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියේ යොදවා සිටි බව වාර්‍තා වේ. 2016 වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට අධිකරණ ශාලාව තුළදීම බලහත්කාරයෙන් මැදිහත්වී අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් 2018 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ වරදට ඥානසාර හිමියන්ට වසර හයක සිරදඬුවමක් නියම විය. පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේ වෙත ජනාධිපති සමාව පිරිනැමූ අතර, එම සමාව දීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය අදාළ ජනාධිපති සමාව බලරහිත කරමින් උන්වහන්සේව යළි බන්ධනාගාරගත කරන ලෙස පසුගිය 29 වැනිදා නියෝග කළේය. මීට අමතරව, ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ අංක 09 මහාධිකරණය හමුවේ ඊයේ (30) විභාගයට ගත් නඩු කටයුත්ත සඳහාද ඥානසාර හිමියන් පෙනී නොසිටි හෙයින් උන්වහන්සේව වහා අත්අඩංගුවට ගන්නා ලෙසට මහාධිකරණය මඟින්ද වරෙන්තුවක් නිකුත් කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමට නියෝග කර සිටින පුද්ගලයකු වෙත ‘අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ’ ප්‍රතිපාදන ප්‍රකාරව තවදුරටත් පොලිස් ආරක්ෂාව ලබා දීමේ නීතිමය හැකියාවක් නොමැති බැවින්, උන්වහන්සේගේ විහාරස්ථානයට සලසා තිබූ පොලිස් ආරක්ෂාව සම්පූර්‍ණයෙන්ම ඉවත් කර නිලධාරීන් ආපසු කැඳවීමට පියවර ‌ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

Google AdSense

In-Article Ad