FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බයිපාස් කරන්න ශිරන්ති පුද්ගලික රෝහලකට ගෙන යයි...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අධිකරණය මඟින් ඇප නියම කරනු ලැබ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක පෞද්ගලික රෝහල වෙත මාරු කර යවා තිබේ. ජාතික රෝහල තුළ ලැබූ ප්‍රතිකාරවලින් අනතුරුව විශේෂඥ වෛද්‍ය නිර්‍දේශය මත ඇය මෙලෙස පෞද්ගලික රෝහලක් වෙත යොමු කර ඇත. ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් "සිරිලිය සවිය" සංවිධානයේ බැංකු ගිණුමකට බැර කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව මඟින් පසුගිය ඔක්තෝබර් 07 වැනිදා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්, බන්ධනාගාර වෛද්‍ය නිර්‍දේශ මත ඇයව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට පියවර ගැනිණි. අනතුරුව පසුගිය ඔක්තෝබර් 16 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කළ විශේෂ වෛද්‍ය වාර්‍තාවක් මඟින් තහවුරු වූයේ ඇයගේ හෘදයේ රුධිර නාල අවහිර වී ඇති බැවින් කඩිනම් බයිපාස් සැත්කමක් අවශ්‍ය බවයි. එම සෞඛ්‍ය තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමට නියෝග කළ අතර විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබීය. එලෙස ඇප ලැබීමෙන් පසු ජාතික රෝහලේ තවදුරටත් රැඳී සිටි ඇය, පවුලේ ඥාතීන්ගේ සහ වෛද්‍යවරුන්ගේ තීරණය අනුව මෙලෙස වැඩිදුර ප්‍රතිකාර උදෙසා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

Google AdSense

In-Article Ad