FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාලිකා දෙකක් කලබලයක් මවා ආණ්ඩුව පෙරලන්න හදනවා.. එක නාලිකාවක සහෝදරයෙක් වෙලේ සුදාගෙන් සල්ලි අරන්..- ජනපති (Video)

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

ආණ්ඩුව විසින් දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දියත් කර ඇති දැඩි වැඩපිළිවෙළට එරෙහිව මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකා දෙකක් එක්ව කෘත්‍රිම නොසන්සුන්තාවයක් නිර්‍මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි. බදුල්ලේ පැවති ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, අතීතයේ සිට මෙරට මුල්බැසගෙන තිබූ දූෂණය, මත්ද්‍රව්‍ය ජාල සහ පාතාල ක්‍රියාකාරකම්වලින් වරප්‍රසාද භුක්ති විඳි පාර්‍ශ්වයන්, වත්මන් ආණ්ඩුව එම ජාලයන් මුලිනුපුටා දැමීමට පියවර ගැනීමත් සමඟ දැඩි කලබලයට පත්ව ඇති බවයි. බිම් මට්ටමේ මහජනතාව අතර එවැනි කිසිදු නොසන්සුන්තාවයක් නොමැති පසුබිමක, ඇතැම් කණ්ඩායම් මෙම රූපවාහිනී නාලිකා දෙක යොදාගනිමින් රට තුළ අර්‍බුදකාරී වාතාවරණයක් පවතින බව පෙන්වීමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය. එමෙන්ම එක්තරා රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙකුගේ සහෝදරයෙකු සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු සමයක හෙළිදරව් වූ මත්ද්‍රව්‍ය සිදුවීමක්ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එවක සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රසිද්ධියේ සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ‘වෙලේ සුදා’ නමැත්තාගෙන් අදාළ නාලිකා හිමිකරුගේ සහෝදරයා මුදල් ලබාගෙන ඇති බවට එකල කරුණු හෙළි වූ බවයි. එම චෝදනාව පසුගිය රජයක් පැවති සමයේ එල්ල වූවක් මිස වත්මන් පාලනය විසින් අලුතින් ගෙතූ එකක් නොවන බවද ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ සාපරාධී ජාලයන් අතීතයේ සිටම දේශපාලනඥයන්, නීතිවිරෝධී ව්‍යාපාරිකයන්, පාතාල නායකයන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් කොටස්වලින් සැදුම්ලත් එකක් බව පෙන්වා දුන් හෙතෙම, එම අශුද්ධ සන්ධානය හරහා මුදල්, වාහන, නිවාස ඇතුළු විවිධ වරදාන ලබාගත් පාර්‍ශ්වයන් මේ වන විට ආණ්ඩුවේ මර්‍දන ක්‍රියාමාර්‍ග කඩාකප්පල් කිරීමට මානබලන බවද පැවසීය. එමෙන්ම රට තුළ සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මක කළහොත් වගකිවයුත්තන් කිසිවකුටත් නිදැල්ලේ සිටීමට ඉඩක් නොලැබෙන බවද හෙතෙම පෙන්වා දෙයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, වර්‍තමානය වන විට රට තුළ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වන තත්ත්වයක් ගොඩනැගෙමින් පවතින බවයි. අතීතයේදී පැවති දේශපාලන හා නීතිමය වරප්‍රසාද තුළ රැකවරණය ලැබූ, නීතිය හමුවේ තමන්ට දඬුවම් ලැබෙනු ඇතැයි බියට පත් වූ පිරිස් මේ වන විට ඊට එරෙහිව හඬ නගන්නට පටන් ගෙන ඇතැයිද ඔහු පැවසීය. "නීතිය පිළිබඳ අවසන් වගකිවයුත්තා කවුද? පාර්‍ලිමේන්තුව පනත් සම්මත කර දෙනවා. නීතිපති දෙපාර්‍තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒ පනත්වලට අනුව නඩු පවරනවා. ඒ නඩුවලට අදාළ විමර්‍ශන අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව, පොලීසිය හා අල්ලස් කොමිසම මඟින් සිදු කරනවා. අවසානයේදී එම කරුණු නීතිය හමුවේ විභාග කරන්නේ අධිකරණයයි. එහි අවසන් තීන්දුව ලබාදෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් පසු එය අස්කර ගන්නැයි කෑගැසීමට නොහැකියි. එවැනි තත්ත්වයන් පවතින්නේ නීතියක් නොමැති රටවල පමණයි. අධිකරණ පද්ධතිය ලබාදෙන තීන්දු මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස අප පිළිගන්නවා. අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නිගමනයන්ට අප යටත් වෙනවා. එතැනින් එහාට ගිය තීන්දු කිසිවෙකුත් අපෙන් බලාපොරොත්තු විය යුතු නැහැ," යැයි අවධාරණය කළේය. මීට අමතරව, පසුගිය සමයේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය අපරාධ හා දූෂණ සම්බන්ධයෙන් සිය ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, "විධිමත් ආකාරයෙන් පරීක්ෂණ සිදු කළහොත් එළියේ කවුරුත් ඉතිරි වන්නේ නැහැ. අපි වංචාවට හා දූෂණයට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරනවා, වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙනවා. මේ කාර්‍යභාරය අපි ඉතාම නිවැරදිව සිදුකරනවා," යනුවෙන්ද දැඩිව ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad