
ප්රංශයෙන් පසු දැන් ඉතාලියේත් විරෝධතා
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ප්රංශයෙන් පසු දැන් ඉතාලියේත් ඉහළ යන ජීවන වියදමට එරෙහිව විරෝධතා ආරම්භ වී තිබෙනවා. මෙම විරෝධතා ප්රචණ්ඩකාරී ගැටුම් දක්වා ද වර්ධනය වී තිබෙන බවයි විදෙස් මාධ්ය පවසන්නේ. මිලාන් නගර මධ්යය සහ ‘පියාසා ඩුවෝමෝ’ (Piazza Duomo) ප්රදේශය යුධ පිටියක ස්වරූපය ගෙන ඇතැයි ඇතැම් විදෙස් මාධ්ය වාර්තාවන්හි සඳහන්. විරෝධතාකරුවන් විසින් වෙළඳසැල්වලට පහර දී, වීදි බංකු පෙරළා දමා, කසල බඳුන් හා මාර්ග බාධක වලටද අලාභහානි සිදු කර තිබෙනවා. විරෝධතාකරුවන්ගේ මෙම ප්රචණ්ඩ හැසිරීම් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්ය පවසන්නේ. විරෝධතාකරුවන් සහ පොලිසියා අතර මෙහිදී ඇතිවූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු ද ඇතුළු 25 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. විරෝධතා අතරතුර සිදු වූ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් මිලාන් නගරයෙන් පමණක් පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවයි විදෙස් මාධ්ය වාර්තාවල සඳහන් වන්නේ. එලෙස අත්අඩංගුවට ගෙන සිටින අයගෙන් 25 දෙනෙකු වයස අවුරුදු 18ට අඩු බාලවයස්කරුවන් බවද විදෙස් මාධ්ය වාර්තාවල සඳහන් වනවා. ටියුරින් නගරයේ දී මුහුණු ආවරණය කරගත් තරුණයින් පිරිසක් පොලිසියට ගල්, මුගුරු, ගිනිකෙළි සහ පෙට්රල් බෝම්බ වලින් පහර දී ඇති බවයි පැවසෙන්නේ. මෙම ප්රචණ්ඩ හැසිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 10 දෙනෙකුම බාලවයස්කරුවන් වනවා. මීට අමතරව, බොලොග්නා නගරයේ දුම්රිය ස්ථානය අසල ද ප්රචණ්ඩකාරී තත්ත්වයන් ඇතිවූ බවයි විදෙස් මාධ්ය වාර්තා කර තිබෙන්නේ. එහිදී විරෝධතාකරුවන් ගල් ප්රහාර එල්ල කරමින් කුලී බයිසිකල් බිම දමා විනාශ කර තිබෙනවා. එහිදී පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන්. වර්ධනය වන විරෝධතා සහ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මිලාන් නගරාධිපති ජුසෙප්පේ සාලා (Giuseppe Sala) කියා සිටියේ විරෝධතාවල සාධාරණ හේතු තිබුණද, පොලිසියට එල්ල කළ ප්රහාර සහ නගරයට සිදු කළ විනාශය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. ලොම්බාර්ඩි කලාපීය කවුන්සිලයේ ඩෙමොක්රටික් පක්ෂයේ නායක පියර්ෆ්රැන්චෙකෝ මජෝරිනෝ (Pierfrancesco Majorino) පවසන්නේ ප්රචණ්ඩ ක්රියා දැඩි ලෙස හෙළා දකින අතරම, නවාතැන් පහසුකම් සහ අධ්යාපනය වැනි මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමීව පෙනී සිටින සිසුන් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමට ද එකඟ නොවන බවයි. .
Google AdSense
In-Article Ad

