
රියාද් ගුවන් තොටුපළ යළි විවෘත කිරීමට සැරසෙද්දී සෞදි අගනුවර විශාල පිපිරුම්...
FM Heart · 2 min read
යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද දැවැන්ත බැලස්ටික් මිසයිලයක් සහ ඩ්රෝන යානා දෙකක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සාර්ථකව විනාශ කළ බව සෞදි ප්රමුඛ ඒකාබද්ධ හමුදා සන්ධානය නිවේදනය කළේය. ප්රහාරයත් සමඟ සතුරු ගුවන් තර්ජනයක් පවතින බව දන්වමින් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස රියාද් වැසියන් වෙත ජංගම දුරකථන පණිවිඩ මඟින් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. රියාද් නුවර කිං කාලිඩ් ජාත්යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් පසුගියදා හූතිවරුන් එල්ල කළ මාරාන්තික ප්රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබූහ. එය දශකයකට වැඩි කාලයක් තුළ සෞදි අරාබියට එල්ල වූ දරුණුතම ප්රහාරය ලෙස සැලකෙන අතර, ඉන් අනතුරුව ගුවන් තොටුපළේ කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබිණි. එම පහසුකම අද දිනයේ යළි විවෘත කරමින් ගුවන් ගමන් කිහිපයක් ආරම්භ කර තිබූ පසුබිමක අදහස් දැක්වූ හූති හමුදා ප්රකාශක යහියා සාරි, ගුවන් තොටුපළ තවදුරටත් අනාරක්ෂිත බවත් එය තමන්ගේ මිලිටරි ඉලක්කයක් බවත් අනතුරු ඇඟවීය. කිං කාලිඩ් ගුවන් තොටුපළ භාවිත කිරීමෙන් වළකින ලෙස සියලුම ජාත්යන්තර සහ දේශීය ගුවන් සේවාවලින් මෙන්ම මගීන්ගෙන් ඉල්ලා සිටින බව පැවසූ ඔහු, එහි සිදුවන ඕනෑම අනතුරක වගකීම සෞදි පාලනය විසින් දැරිය යුතු බව ද අවධාරණය කළේය. ගතවූ පැය 24ක කාලය තුළ පමණක් රියාද් ඇතුළු සෞදි ගුවන් තොටුපළවල් තුනක්, බලශක්ති යටිතල පහසුකම්, තෙල් නළ මාර්ගයක් සහ ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර ප්රහාර මාලාවක් දියත් කළ බව හූතිවරු ප්රකාශ කරති. මේ අතර, මක්කම සහ මදීනා ශුද්ධ නගර ආශ්රිත ප්රදේශවලටද කඩා වැටුණු මිසයිල සුන්බුන් හේතුවෙන් සෞදි සිවිල් ආරක්ෂක අංශ මෙහෙයුම් දියත් කර ඇති නමුත්, ඉස්ලාමයේ ශුද්ධ නගර ඉලක්ක කළ බවට සෞදිය කරන ප්රකාශ පදනම් විරහිත බව පවසමින් හූතිවරු එය ප්රතික්ෂේප කරති. යේමන රජය සහ හූති කැරලිකරුවන් අතර වසර ගණනාවක් පැවති සටන්විරාමය බිඳවැටීමත් සමඟ, පසුගිය මාසයේදී රතු මුහුදු තීරයේ පූර්ණ පාලනය අත්පත් කර ගැනීමට හූතිවරු සමත් වූහ. මෙම අර්බුදය සමස්ත මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති අතර, ලොව ප්රමුඛතම බොරතෙල් අපනයනකරුවා වන සෞදි අරාබියේ ආර්ථික, සංචාරක හා ගුවන් ගමන් ක්ෂේත්රයන්ට මෙන්ම ගෝලීය තෙල් වෙළඳපොළට ද මෙයින් දැඩි බලපෑම් එල්ල වී ඇත.

