
PHP අවුල දරුණුයි.. දින තුනකට භාණ්ඩ රැස් කර ගන්නැයි බ්‍රිතාන්‍යයෙන් ජනතාවට දන්වයි..
FM Heart · 2 min read
ලොව පුරා වෙබ් පද්ධති රැසක් අඩපණ කරමින් අනාවරණය වූ PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක දෝෂයත් සමඟ ලොව පුරා මිලියන සංඛ්‍යාත හැකර් ප්‍රහාර වාර්තා වූ අතර, එම සයිබර් අර්බුදය මෙන්ම මෑතකදී බ්‍රිතාන්‍යය මුහුණ දුන් වාර්තාගත දැඩි නියඟය හා ලැව්ගිනි අවදානම හමුවේ මෙම පූර්ව සූදානම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇතැයි රජය පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය රජය විසින් අලුතින් ආරම්භ කරන ලද "Be Ready" ජාතික වැඩසටහන ඔස්සේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බෝතල් කළ පානීය ජලය සහ පහසුවෙන් නරක් නොවන වියළි ආහාර ද්‍රව්‍ය දින තුනකට සෑහෙන පරිදි නිවෙස් තුළ ගබඩා කර තබා ගන්නා ලෙසයි. යුරෝපා සංගමය විසින් ද පසුගිය වසරේදී තම පුරවැසියන්ට පැය 72ක කාලයකට ප්‍රමාණවත් ආහාර, ජලය, මුදල් සහ අතේ ගෙන යා හැකි බැටරි සහිත හදිසි උපකරණ කට්ටලයක් ළඟ තබා ගැනීමට උපදෙස් දී තිබූ අතර, බ්‍රිතාන්‍යය ද එම ක්රමවේදයම අනුගමනය කර ඇත. ලැව්ගිනි මැඩපැවැත්වීම සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී අදහස් දැක්වූ අගමැති ඇන්ඩි බර්න්හැම් අවධාරණය කළේ, මෙවැනි ආපදා හමුවේ බ්‍රිතාන්‍යය මින් පෙර ක්‍රියා කළේ පසුගාමී පිළිවෙතක් ඔස්සේ බවත්, තවදුරටත් එසේ නොවී පෙර සූදානමකින් යුතුව කටයුතු කළ යුතු බවත්ය. ඒ අනුව ලැව්ගිනි ආපදාවලට එරෙහිව යුද හමුදා ගුවන් යානා යෙදවීම ඇතුළු නව සැලැස්මක් ද රජය ප්‍රකාශයට පත් කර තිබේ. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් වෙස් ස්ට්‍රීටිං සඳහන් කළේ, කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය ඔස්සේ සාම්ප්‍රදායික ආරක්ෂණ පද්ධති බිඳ දැමීම පහසු වී ඇති බැවින් මෙවැනි දැවැන්ත සයිබර් ප්‍රහාර ඉදිරියේදී වඩාත් සුලබ විය හැකි බවයි. සතුරු රාජ්‍යයන්ගෙන් එල්ල වන තර්ජන, සංවිධානාත්මක අපරාධ කල්ලිවල සයිබර් ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මෑත ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ඉහළ මට්ටමේ ආරක්ෂක අභියෝගයකට වත්මන් බ්‍රිතාන්‍යය මුහුණ දී සිටින බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

