
‘යක්ෂ රාජ වජ්රපානි’ කවිය ගැන කල ප්රකාශයක් ගැන පොලිසියෙන් ප්රශ්ණ කරයි
FM Heart · 1 min read
වස්කවියක් රචනා කළ බව කියන සිද්ධියක් මුල් කරගනිමින් තරුණයෙකු දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා ප්රකාශ සටහන් කරගත් බව පවසමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම වීඩියෝ පටය හරහා දෙමටගොඩ පොලිසිය දෝෂදර්ශනයට ලක්වන ආකාරයෙන් අසත්ය තොරතුරු සමාජගත කර ඇති බව පවසමින් මෙම පරීක්ෂණ ක්රියාත්මක කෙරේ. පොලිස් මාධ්ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඉකුත් ඔක්තෝබර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වස්කවියක් ලිවීම සම්බන්ධයෙන් සැකපිට තරුණයෙකුගෙන් ප්රශ්න කළ බවට අසත්ය කරුණු දක්වමින් මෙම වීඩියෝව ප්රචාරය කර ඇති බවයි. අදාළ වීඩියෝ පටය මඟින් එම සිදුවීම පිළිබඳව ප්රචාරයක් ලබාදුන් බව කියන නීතිඥ සුදත් වික්රමරත්න මහතා (26) පස්වරුවේ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට කැඳවා තිබූ අතර, එහිදී ඔහුගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්රකාශයක් සටහන් කරගෙන ඇත. සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු එම කාර්යාංශය මඟින් තවදුරටත් ක්රියාත්මක වේ.

