
බදුල්ලෙ මන්ත්රී දරුවන් කොළඹ පාසල්වලට දාලා... කොළඹ ගෙවල් අරන් බිරිදත් එක්ක පදිංචියට ඇවිත් - චාමර සම්පත්
FM Heart · 2 min read
බදුල්ල දිස්ත්රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරය හොබවන මන්ත්රී වරයෙකු සිය බිරිඳ සහ දරුවන් සමඟ බදුල්ල අතහැර කොළඹ ප්රදේශයේ නිවාස ලබාගෙන පදිංචියට පැමිණ, දරුවන් කොළඹ ප්රමුඛ පාසල්වලට ඇතුළත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කළේය. අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේය. දිස්ත්රික්කයේ ජනතා නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් බලය ලැබීමෙන් අනතුරුව තම දිස්ත්රික්කයෙන් බැහැරව සුඛෝපභෝගී ජීවිත ගතකිරීමට පෙළඹීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය දැඩි විවේචනයකට ලක්කළ මන්ත්රීවරයා, ප්රදේශයේ සැබෑ ගැටලු මඟහැර සිටීම අනුමත කළ නොහැකි බව පෙන්වා දුන්නේය. ඇල්ල ප්රදේශයේ සංචාරක කලාපය තුළ උද්ගතව ඇති පාරිසරික ගැටලුවක් පිළිබඳව ද සභාවේ අවධානය යොමුකළ චාමර සම්පත් මහතා, ඇල්ල ක්රීඩාංගණයේ තිබූ ගස් කපාදමා ඇත්තේ ජාතික ජන බලවේගය පාලනය කරන ප්රාදේශීය සභාව මඟින් බව පැවසීය. ප්රාදේශීය සභාවේ උප සභාපතිනියට අයත් හෝටලයක ඉදිරිපස දර්ශනය එම ගස්වලින් ආවරණය වන බැවින් හෝටලයේ පහසුව තකා එම ගස් කපා දැමූ බවට ජනතාව අතර බරපතළ සැකයක් සහ විරෝධයක් පවතින බව හෙතෙම සඳහන් කළේය. මීට අමතරව, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් බේරේ වැව පිරිසිදු කිරීම සඳහා පසුගිය අයවැයෙන් සංචාරක සංවර්ධන අරමුදල හරහා වෙන්කළ රුපියල් මිලියන 2,500ක (බිලියන 2.5) මුදලට සිදුවූයේ කුමක්දැයි විමසා සිටි මන්ත්රීවරයා, එම මුදල් වැයකර බේරේ වැව පිරිසිදු කර ඇත්දැයි ප්රශ්න කළේය. අයවැයෙන් වෙන්කරනු ලබන මහජන මුදල්වලින් අවම වශයෙන් සියයට 75ක්වත් ප්රායෝගිකව වැය කිරීමට රාජ්ය යාන්ත්රණය අපොහොසත් වන්නේ නම්, මහජන නියෝජිතයන්ගේ සහ රජයේ සියලු උත්සාහයන් නිෂ්ඵල වන බවද මන්ත්රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

