
කතානායක නිල නිවසේ සියළු වාර්‍තා අල්ලස් කොමිසමට...
FM Heart · 2 min read
අල්ලස් කොමිසම විසින් ශ්‍රී ලංකා පාර්‍ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) වෙත දැනුම් දී ඇත්තේ ඊට අදාළ ලිපිලේඛන සහිතව පාර්‍ලිමේන්තු නිලධාරීන් කොමිසම හමුවට කැඳවන ලෙසයි. ඒ අනුව, කථානායක නිල නිවසේ සහායක කාර්‍ය මණ්ඩලයේ සේවකයන් අට දෙනාගේ පෞද්ගලික ලිපිගොනු රැගෙන පාර්‍ලිමේන්තු නිලධාරිනියක පෙරේදා (23) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇති අතර, කොමිසමේ විමර්‍ශන නිලධාරීන් ඇයගෙන් ඒ පිළිබඳව ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ. මීට අමතරව, ඉදිරි විමර්‍ශන සඳහා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ලිපිලේඛන සහිතව කොමිසම හමුවට කැඳවා ඇත. කථානායක නිල නිවසේ සේවකයන්ගේ වැටුප් වාර්‍තා, ආහාර හා තේ පැන් වියදම් (2025 මාර්‍තු සිට මේ දක්වා) මෙන්ම ජල, විදුලි, දුරකතන සහ ලොන්ඩ්‍රි බිල්පත් ගෙවීම් (2024 නොවැම්බර් සිට මේ දක්වා) රැගෙන පාර්‍ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පරිපාලන (මුදල් හා ගිණුම්) එල්.බී.ආර්. පද්මසිරි මහතා හෙට දින පෙනී සිටීමට නියමිතය. රජමල්වත්ත මාවතේ පිහිටි කථානායක නිල නිවසේ රාජකාරි සඳහා ගෘහපාලන හා නඩත්තු අංශයෙන් අනුයුක්ත කළ සේවකයන් (2025 ජනවාරි 01 සිට මාර්‍තු 01 දක්වා) සහ ආරක්ෂක නිලධාරීන් යෙදවීමට අදාළ ලේඛන සහිතව විෂයභාර නිලධාරියා අනිද්දා දින කොමිසම හමුවට පැමිණිය යුතුය. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව මෙම පුළුල් විමර්‍ශනය ආරම්භ කර ඇත්තේ පාර්‍ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වනදා අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුවය. මීට සමගාමීව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් චෝදනා 50කින් සමන්විත විශ්වාසභංග යෝජනාවක් ද පාර්‍ලිමේන්තුවට භාරදී තිබේ. කථානායක නිල නිවසට අයත් ඇඳ ඇතිරිලි, කොට්ට ඇතුළු රජයේ දේපළ පිටතට රැගෙන යාම සහ මූල්‍ය අක්‍රමිකතා රැසක් එම විශ්වාසභංග යෝජනාවේ චෝදනා අතරට ඇතුළත් කර ඇත.

