
මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන්නැයි කියයි...
FM Heart · 1 min read
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මහ බැංකුවට ස්වාධීනත්වය ලබාදීම සඳහා නව පනතක් සම්මත කර දුන් නමුත්, එහි නිලධාරීන් එම ස්වාධීනත්වය අවභාවිත කරමින් සියයට 112කින් පමණ වැටුප් වැඩිකර ගැනීමට පමණක් කටයුතු කර ඇති බවයි. රටේ සාමාන්‍ය ජනතාවගෙන් සියයට 90කට අධික පිරිසක් දැඩි ආර්‍ථික දුෂ්කරතා හේතුවෙන් එළඹෙන අලුත් අවුරුදු උත්සවය සැමරීමට පවා නොහැකි තත්ත්වයක පසුවන මොහොතක, මහ බැංකු නිලධාරීන් මෙලෙස අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගැනීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. නව මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව උද්ධමන අනුපාතිකය නියමිත සීමාවන් ඉක්මවා යන අවස්ථාවලදී ඒ පිළිබඳව පාර්‍ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කිරීමටත්, එය සමනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්‍ග වාර්‍තා කිරීමටත් මහ බැංකු අධිපතිවරයා බැඳී සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එම වගකීම පැහැර හරිමින් අධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බව රාඝවන් මහතා සඳහන් කළේය. එමෙන්ම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්‍ය හර්‍ෂ ද සිල්වා මහතා වෙත ද චෝදනා එල්ල කළ සුරේන් රාඝවන් මහතා, මහ බැංකු නිලධාරීන්ගෙන් සෘජුව ප්‍රශ්න කර රට හමුවේ සත්‍ය හෙළිදරව් කරනවා වෙනුවට ඔහු ද්විත්ව ස්ථාවරයක සිටිමින් කටයුතු කරන බවට චෝදනා කළේය.

