
PTA වෙනුවට අලුත් නීති එක්ක අලුත් පනතක් ගැසට් කරයි...
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ප්‍රකාශයට පත් කර ඇති මෙම නව පනත් කෙටුම්පත මඟින් ජාතික ආරක්ෂාව තහවුරු කරන අතරම, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විශේෂ විධිවිධාන රැසක් ඇතුළත් කර ඇත. මහජනතාව තුළ භීෂණයක් ඇති කිරීම හෝ රජයකට බලපෑම් කිරීමේ අරමුණින් සිදු කරන මිනීමැරුම්, බරපතළ තුවාල සිදුකිරීම්, ප්‍රාණඇපයට ගැනීම්, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් හා සයිබර් පද්ධති විනාශ කිරීම් ඇතුළු ක්‍රියා රැසක් මෙහිදී ත්‍රස්තවාදී වැරදි ලෙස නිර්‍වචනය කර තිබේ. එහෙත්, හුදෙක් සාමකාමී විරෝධතාවල නිරතවීම, වැඩවර්‍ජන හෝ වෙනත් වෘත්තීය සමිති ක්‍රියාමාර්‍ගවල යෙදීම සහ මානුෂීය ආධාර සැපයීම පමණක් කිසිදු ලෙසකින් ත්‍රස්තවාදී වරදක් සේ නොසැලකිය යුතු බව පනත් කෙටුම්පතෙහි 4(4) වගන්තිය මඟින් දක්වා ඇත. එසේම මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන සාධාරණ වාර්‍තාකරණය, විවේචන, දේශපාලන අදහස් පළකිරීම්, අධ්‍යයන හෝ පර්‍යේෂණ කටයුතු ත්‍රස්තවාදය ප්‍රවර්‍ධනය කිරීමක් ලෙස නොසැලකෙන බවටද විශේෂ ආරක්ෂණයක් සලසා තිබේ. නව පනත් කෙටුම්පතට අනුව, යම් සැකකරුවකු අත්අඩංගුවට ගත් විට පැය 48ක් ඇතුළත ආසන්නතම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන රැඳවුම් නියෝගයක් වරකට මාස දෙකකට නොවැඩි කාලසීමාවක් සඳහා වලංගු වන අතර, සමස්ත රඳවා තබා ගැනීමේ උපරිම කාලය වසරක් නොඉක්මවිය යුතුය. යම් සැකකරුවකු මාස දෙකකට වඩා රඳවා තැබීමට අවශ්‍ය නම් ඒ සඳහා මහාධිකරණයේ පූර්‍ව අනුමැතිය ලබාගැනීම අනිවාර්‍ය කර ඇත. එසේම, අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ තොරතුරු පැය 24ක් ඇතුළත ඔහුගේ ළඟම ඥාතියාට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දිය යුතු අතර, මහෙස්ත්‍රාත්වරුන්ට පූර්‍ව දැනුම්දීමකින් තොරව සැකකරුවන් රඳවා සිටින ස්ථාන නිරීක්ෂණය කිරීමටද පූර්‍ණ බලතල හිමිවේ. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ශ්‍රව්‍ය-දෘශ්‍ය (Audio-Visual) තාක්ෂණය ඔස්සේ පටිගත කළ යුතු බවට මෙහි නියම කර තිබේ. සැකකරුවකු මහෙස්ත්‍රාත්වරයකු හමුවේ ලබා දෙන ප්‍රකාශයක් සාක්ෂියක් ලෙස පිළිගැනීමට නම්, අදාළ ප්‍රකාශය ලබා ගැනීමට පෙර සහ පසු එම සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්‍ය කර තිබීම විශේෂත්වයකි. යම් සැකකරුවකු වධහිංසාවට හෝ අමානුෂික සැලකිල්ලට භාජනය වී ඇති බවට පෙනී යන්නේ නම්, ඔහු වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමටත්, රඳවා සිටින ස්ථානය වෙනස් කිරීමටත්, වගකිවයුත්තන්ට එරෙහිව විමර්‍ශන පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීමටත් මහෙස්ත්‍රාත්වරයාට බලය පැවරේ. රඳවා තැබීමේ නියෝගවල නීත්‍යනුකූලභාවය සහ සමානුපාතිකත්වය විමසා බැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් ‘ස්වාධීන සමාලෝචන කමිටුවක්’ පිහිටුවීමටද නව පනත මඟින් යෝජනා කර ඇත. අගතියට පත් ඕනෑම රැඳවියකුට මෙම කමිටුව වෙත සහන පතා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය. ත්‍රස්තවාදී ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස මරණයක් සිදුවූ අවස්ථාවකදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි අතර, සෙසු බරපතළ ත්‍රස්ත වැරදි සඳහා වසර විස්සක් නොඉක්මවන බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් මිලියන විස්සක් දක්වා දඩ නියම කළ හැකිය. එමෙන්ම, මරණ හෝ බරපතළ හානි සිදු නොවූ අවස්ථාවලදී නීතිපතිවරයාගේ එකඟතාව සහ මහාධිකරණයේ අවසරය මත ප්‍රසිද්ධියේ සමාව අයැදීම, පුනරුත්ථාපනයට යොමුවීම හෝ වින්දිතයන්ට වන්දි ගෙවීම වැනි කොන්දේසිවලට යටත්ව නඩු පැවරීම කල් තැබීමට හෝ අත්හිටුවීමටද නව පනත් කෙටුම්පත හරහා විධිවිධාන සලසා තිබේ. මෙම පනත් කෙටුම්පත පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව, ගැසට් පත්‍රයේ පළවන නියමිත දින සිට බලාත්මක වීමට නියමිතය.
Google AdSense
In-Article Ad

