FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාස්කු ප්‍රහාර නඩු තීන්දුව ගැන කතෝලික සභාව සෑහීමට පත්වෙයි - ගෝඨාටත් දඬුවම් කරන ලෙස ඉල්ලයි (VIDEO)

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන්ට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දුව කතෝලික සභාව විසින් පිළිගෙන තිබේ. කෙසේවෙතත්, එම තීන්දුව ප්‍රහාරය සම්බන්ධ සම්පූර්‍ණ සත්‍යය හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියේ අවසානය ලෙස නොසැලකිය යුතු බව සභාව අවධාරණය කරයි. කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ පූජ්‍ය ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ජනමාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ, වසර ගණනාවක් තිස්සේ යුක්තිය අපේක්ෂාවෙන් සිටි ප්‍රහාරවලින් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අධිකරණ තීන්දුවක් ලබාදීම පිළිබඳව සභාව සෑහීමකට පත්වන බවයි. එම තීන්දුව ආගමික අන්තවාදයට එරෙහිව ප්‍රබල පණිවුඩයක් ලබාදෙන බවද එතුමෝ සඳහන් කළහ. ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීම සඳහා කිසිදු ආගමක් විකෘති නොකළ යුතු බවද පියතුමා අවධාරණය කළහ. කෙසේවෙතත්, වරදකරුවන් කර ඇති පුද්ගලයන් මෙම සිද්ධියේ එක් කොටසක් පමණක් බව පූජ්‍ය ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ. ප්‍රහාර සඳහා පහසුකම් සැලසීමට හෝ ඒවා සිදුවීමට ඉඩදීමට වෙනත් පුද්ගලයන් සම්බන්ධ වී තිබේද යන්න පිළිබඳවද විමර්‍ශන අඛණ්ඩව සිදුකළ යුතු බව එතුමෝ අවධාරණය කළහ. ප්‍රහාර වැළැක්වීමට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන් සතුව තිබූ බවට චෝදනා පවතින බවත්, එම තොරතුරු මත ක්‍රියා නොකිරීමට හේතුව සහ ඒ පිටුපස කිසියම් පුළුල් සම්බන්ධතාවක් හෝ අරමුණක් තිබුණේද යන්න විමර්‍ශකයන් විසින් සොයාබැලිය යුතු බවත් පියතුමා පැවසූහ. මීට පෙර සිදුකළ විමර්‍ශන සහ කොමිෂන් සභා නිර්‍දේශ මගින් හඳුනාගෙන ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් සාක්ෂි මත පදනම්ව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්‍ග ගන්නා ලෙසද පූජ්‍ය ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ඉල්ලා සිටියහ. ප්‍රහාරයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් මෙන්ම ඊට අදාළ අසාර්‍ථකත්වයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් පිළිබඳවද නිසි විමර්‍ශන සිදුකරන තෙක් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ බව කතෝලික සභාව නොසලකන බව එතුමෝ සඳහන් කළහ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස තවත් පුද්ගලයන් හෝ කණ්ඩායම් සිටියේද යන්න හඳුනාගෙන, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කතෝලික සභාව දිගින් දිගටම ඉල්ලා සිටී.

Google AdSense

In-Article Ad