FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මෙරට එක අලියෙකුගේ වටිනාකම ඩොලර් මිලියන 12.7ක් ලෙස ගණන් හදයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අලියකුගේ සංචාරක අගය,පාරිසරික ප්‍රාග්ධන අගය සහ සංස්කෘතික අගය ගණනය කිරීමෙන් ඉහත අගය ලැබුණු බවද එම සංසදය පවසයි. කෙන්‍යාවේ වල් අලියකුගෙන් සංචාරක කර්‍මාන්තය හරහා වර්‍ෂයකට ඩොලර් මිලියන 1.6 ක් උපයා ගන්නා බවද එම සංසදය කියයි. මේ අනුව,මෙරට එක අලියකුගෙන් රුපියල් කෝටි 380 ක් ජාතික ප්‍රාග්ධනයට එකතු කිරීමේ හැකියාව පවතින බවද එම සංසදය පවසන්නේය. ශ්‍රී ලංකා වල් අලි සංරක්ෂණ සංසදය විසින් සකස් කරන ලද අලි මිනිස් ගැටුම කළමනාකරණයට අදාළ යෝජනාවලියක් කොළඹ විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨ තොරතුරු සහ ඉගෙනුම් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පෙරේදා (12 වැනිදා) පස්වරුවේදී එළි දැක්වීම සිදු කෙරුණි. එහිදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි. ජාත්‍යන්තර අලි දිනය පෙරේදා (12 වැනිදා) දිනට යෙදී තිබූ අතර, ඊට සමගාමීව මෙම වැඩසටහන පැවැත්විණි. වයස අවුරුදු 55 දී ස්වභාවික හේතූන් මත මිය ගිය කෙන්‍යාවේ අහමඩ්, වයස අවුරුදු 54 දී ස්වභාවික හේතුන් මත මිය ගිය “ක්‍රෙග්’’නමැති ඇතුන්ට පැය 24 පුරා ආරක්ෂාව ලබාදී තිබූ බවත්,මේ අයුරින් මෙරට ස්වභාවික පරිසරයේ දැනට ජීවත්වන “මහසෙන්“,“අග්බෝ“,“කාවන්තිස්ස’’වැනි සුවිශේෂී දළ ඇතුන් ජාතික උරුමයන් ලෙස ප්‍රකාශයට පත්කර ආරක්ෂාව ලබාදිය යුතුව ඇතැයිද ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය පවසන්නේය. 2015 වසරේ සිට 2024 දක්වා කාලයේදී ශ්‍රී ලංකාව තුළ වන අලි 3,500 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවත්, අලි පහරදීම් නිසා මිනිසුන් 1,200 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බවත් එම සංසදය කියයි. ගෝලීය වශයෙන් වැඩිම වල් අලි සංඛ්‍යාවක් මියයන සහ අලි පහරදීම් නිසා දෙවනුවට වැඩිම මිනිස් මරණ සංඛ්‍යාවක් සිදුවන රට ශ්‍රී ලංකාව බවද එම සංසදය කියා සිටී. 2023 වසරේදී පමණක් අලි 488 ක් මියගොස් තිබෙන බවත්, අලි පහරදීම් නිසා මිනිසුන් 182 ක් මියගොස් තිබෙන බවත්, ඒ අනුව,එම වසරේදී දිනකට එක් අලියෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබෙන බවද එම සංසදය පවසන්නේය. මෙරට දිස්ත්‍රික්ක 19 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 130 කට වැඩි සංඛ්‍යාවක අලි මිනිස් ගැටුම පවතින බවද ලංකා වන අලි සංරක්ෂණ සංසදය සඳහන් කරයි. මෙරට අලි සිය නිජබිම තුළම අනාථයෙක් බවට පත්ව සිටින බවත්, මිනිසා සමග අලි ඇතුන්ට ජීවත්විය හැකි සශ්‍රීක දේශයක් නිර්‍මාණය වියයුතුව ඇතැයිද එම සංසදය පවසන්නේය. මෙම අවස්ථාවට වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ, සංරක්ෂණ පර්‍යේෂණ ආයතනයේ ආචාර්‍ය පෘතුවිරාජ් ප්‍රනාන්දු, ආචාර්‍ය සුමිත් පිලපිටිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Google AdSense

In-Article Ad