FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කෝටි 25 පිළිකා එන්නත් විනාශ මුඛයේ.. රෝගීන් 190,000ක් අනතුරේ.. ස්ටිකරය ගෙන්වා අලවන්න බැරි ඇයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, රෝගීන් මියයාම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු වූ ඇතැම් ඖෂධ පවා අනුමත කළ ඖෂධ නියාමන අධිකාරිය, මෙම එන්නත් කුප්පියේ පිටුපස ලේබලය නොමැති වීම වැනි සුළු කරුණක් මත පදනම්ව එය භාවිතයට අවසර නොදීම ගැටලු සහගත බවයි. චීනයෙන් අදාළ ලේබලය ගෙන්වා නිසි අධීක්ෂණය යටතේ අලවා හෝ විශේෂඥ කමිටු අනුමැතිය මත මෙම ඖෂධය රෝගීන්ට ලබා දීමට කටයුතු නොකිරීම පිටුපස කිසියම් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අර්‍බුදය විසඳීමට සාධනීය මැදිහත්වීමක් සිදු කර තිබියදීත්, නියාමන අධිකාරියේ මාර්‍ගෝපදේශ උල්ලංඝනය වී ඇතැයි පවසමින් වෛද්‍ය සැපයුම් ඒකකය මෙම ඖෂධ භාර නොගැනීම නිසා පිළිකා රෝගීන් විශාල පිරිසක් දැඩි අසරණභාවයට පත්ව සිටිති. රුපියල් මිලියන 250කට අධික වටිනාකමකින් යුත්, ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහකට ආසන්න විදේශ විනිමයක් වැය කර ගෙන්වන ලද මෙම ඖෂධ තොගය භාවිතයට නොගෙන විනාශ වීමට ඉඩ හැරීම ජාතික අපරාධයක් බව ද වෛද්‍යවරයා අවධාරණය කළේය. දැනට මෙරට පිළිකා ඖෂධ වර්‍ග 40ක පමණ හිඟයක් පවතින අතර, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජාවාරම්කරුවන් නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් ගෙන්වන ඖෂධ අධික මිලට අලෙවි කරමින් සිටිති. එවැනි ජාවාරම් වැටලීමට උනන්දු නොවන නියාමන අධිකාරිය, නිසි පරිදි ලියාපදිංචි වී ගෙන්වන ලද ඖෂධ සඳහා විවිධ බාධා පමුණුවන්නේ වෙනත් සමාගම්වල වුවමනාවන් මත දැයි සැකයක් පවතින බව ද හෙතෙම පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල මෙවැනි ගැටලු දිගින් දිගටම මතු වන බැවින්, පසුගිය පාලන සමයන්හිදී පත් කරන ලද වගකිවයුතු නිලධාරීන් වහාම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. පවතින සෞඛ්‍ය අර්‍බුද සඳහා සාධනීය විසඳුම් සෙවීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පූර්‍ණ සහයෝගයෙන් කටයුතු කිරීමට තම සන්ධානය සූදානම් බව ද ඔහු අවසානයේ සඳහන් කළේය.

Google AdSense

In-Article Ad