
ළමා සහ යොවුන් ගැබ් ගැනීම් 51ක්: ලිංගික බලහත්කාරකම් 364ක්
FM Heart · 2 min read
මෙම වසරේ ගෙවීගිය පළමු මාස නවයක කාලයේදී මෙරටින් ළමා හා යොවුන් ගැබ් ගැනීම් (Teenage Pregnancies) 51 ක් වාර්තා වී ඇති බවත්, ලිංගික බලහත්කාරකම් ආශ්රිත ක්‍රියාද (Sexual Harassment) 364ක් ද සිදුව ඇති බවත්, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. මෙයට අමතරව, ළමයින් ලිංගික අපචාර ක්‍රියා සඳහා යොදා ගැනීම් (grave Sexual abuse) 114ක්ද, ළමා දූෂණ ක්‍රියා (Rape) 169 ක්ද, ළමා විවාහ 09ක්ද සිදුව ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ නවතම දත්ත වාර්තා උපුටා දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටී. කොළඹ, ගම්පහ, කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල මෙම සිදුවීම් වාර්තාවීමේ ප්‍රතිශතය සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරන බවද සඳහන් කරන වෛද්‍යවරයා මෙය සමාජ ව්‍යසනයක් යැයිද කීය. එසේම ජාතික ළමාරක්ෂණ අධිකාරියේ දත්තවලට අනුව 2024 වර්ෂයේ ළමා යොවුන් ගැබ් ගැනීම් 53ක්, ලිංගික බලහත්කාරකම් 500ක්, ළමා ගබ්සා 03ක්, ළමා දූෂණ ක්‍රියා 42ක්, ළමයින් ලිංගික ක්‍රියාවන් සඳහා පොලඹවා ගැනීම් 321ක් ද, වාර්තා වී ඇතැයි ද කියා සිටින වෛද්‍යවරයා, 2025 වසරේදී ද ළමා ලිංගික දූෂණ ක්‍රියා 98ක්, ලිංගික බලහත්කාරකම් 545 ක්, ළමා ලිංගික අපචාර ක්‍රියා 160ක් සහ ළමා යොවුන් ගැබ් ගැනීම් 46 ක්ද වාර්තා වී ඇතැයි පවසයි. කෙසේ වෙතත් මෙම සංඛ්යාලේඛනවලදී ඇගයීමට ලක්වන්නේ ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙත වාර්තා වූ සිදුවීම් පමණක් වන බැවින්, සත්‍ය අගයන් මීට වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැකි බවද වෛද්‍යවරයා සඳහන් කරයි. 2026 වසරේ ගෙවීගිය මාස නවයක කාලසීමාව අවසානයේදී ළමාරක්ෂණ අධිකාරිය වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 9,613ක් බවද සඳහන් කරන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, මෙම දත්ත වාර්තාවන්ට අනුව, මෙරට වයස අවුරුදු 18ට අඩු දරුවන් ආරක්ෂාකර ගැනීම සඳහා නිශ්චිත ජාතික ප්‍රතිපත්ති මාලාවක් ප්‍රායෝගික වශයෙන් අවශ්‍යව ඇතැයි ද සඳහන් කළේය. සුජීව තත්සර

