
සුප්‍රකට Green Boots අභිරහස විසඳෙයි – මළ සිරුර එවරස්ට් කඳු මුදුනේ සිට පහළට ගෙන ඒමට මෙහෙයුමක්
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
ග්‍රීන් බූට්ස් නමින් ලොව ප්‍රකට වූ එවරස්ට් කඳු මුදුනේ වසර 30ක් පමණ තිස්සේ ගල්වී ඇති මළ සිරුර පහළට ගෙන ඒම සඳහා ඉන්දියාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මෙම මළ සිරුර 1996 වසරේදී එවරස්ට් තරණය කිරීමේදී මියගිය ඉන්දියානු කඳු නගින්නෙකුගේයි. ඔහු පැළඳ සිටි ලා කොළ පැහැති කඳු නගින සපත්තු යුගළක් හේතුවෙන් මළ සිරුර ග්‍රීන් බූට්ස් නමින් ලොව පුරා ප්‍රකට වුණා. මෙලෙස මියගිය පුද්ගලයා ඉන්දීය – ටිබෙට් දේශසීමා පොලීසියේ සේවය කළ අයෙක්. ඒ වන විට 48 වන වියේ පසුවූ ඔහු දෝර්ජේ මෝරුප් නමැත්තෙකු වනවා. බහුතරයක් කඳු නගින්නන් එවරස්ට් කඳු මුදුන කරා ළඟාවන්නේ නේපාලය හරහායි. එහෙත් දෝර්ජේ මෝරුප් ඇතුළු කණ්ඩායම ටිබෙටය පැත්තෙන් කන්ද නැගීමට උත්සාහ කර තිබුණා. ඔවුන් කඳු මුදුනට ළඟාවී ඇත්තේ දරුණු හිම කුණාටුවකට මුහුණ දෙමින්. නැවත පහළට බසිමින් සිටියදී වඩාත් දරුණු හිම කුණාටුවකට ඔවුන් මුහුණ දී ඇති අතර දෝර්ජේ මෝරුප් ඇතුළු කඳු නගින්නන් තුන්දෙනෙකු එහිදී මිය ගොස් තිබෙනවා. මළ සිරුරු අතර වූ ලා කොළපැහැති බූට්ස් පැළඳී සිරුර වෙනත් කඳු නගින්නෙකුගේ බවයි මුලින් විශ්වාස කෙරුණේ. එහෙත් ඇඳුම් පැළඳුම් සහ උපකරණ වල ස්වභාවය අනුව එම සිරුර දෝර්ජේ මෝරුප්ගේ බව පසුව තහවුරු කෙරුණ. මෙම සිරුර දැනටත් ගල්වී තිබෙන්නේ පොළොව මට්ටමේ සිට මීටර් 8,000කට වඩා වැඩි උස් ස්ථානයකයි. එම කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40ක් දක්වා පහළ වැටෙන අතර එහි ඔක්සිජන් සංයුතිය ද ඉතා අල්ප වනවා. ඒ අනුව සිරුර ගල් වී ඇති ප්‍රදේශය සැලකෙන්නේ “මරණීය කලාපයක්” ලෙසයි. එවැනි ස්ථානයක සිට මළ සිරුරක් පහළට රැගෙන ඒම ඉතා අවදානම් සහ මිල අධික කටයුත්තක් වනවා. මෙහෙයුමේ සම්පූර්ණ වියදම ඉන්දීය රජය විසින් දරුණු ඇති. DNA පරීක්ෂණ මඟින් අනන්‍යතාව සම්පූර්ණයෙන් තහවුරු කර ගැනීමෙන් පසු සිරුර දෝර්ජේ මෝරුප් පවුලේ සාමාජිකයන් වෙත ලබාදීමට නියමිතව තිබෙනවා. මියගිය දෝර්ජේ මෝරුප් ගේ බිරිඳ තවදුරටත් ජීවත්ව සිටින අතර තම සැමියා යළි එනු ඇතැයි විශ්වාසයෙන් වසර 30ක් පුරා බලාපොරොත්තුවෙන් සිටින ඇය දැන් 75වන වියේ පසුවන්නියක්. මළ සිරුර පහළට ගෙන ඒමට ආරම්භ කරන මෙහෙයුම පිළිබඳ කළ විමසීමකදී ඇය කඳුළු සලමින් පවසා ඇත්තේ, “සමහර දවස්වල මම නිදාගන්න යන්න කලින් හිතනවා, අද රෑට කවුරුහරි දොරට තට්ටු කරයි කියලා. මම දොර ඇහැරලා බලද්දී ඔහු එතන සිටීවි කියලා මම හිතනවා… ඔහු ගෙදර ආවම මම අහනවා, ‘ඔබ දැන් අවුරුදු 30ක් තිස්සේ කොහෙද හිටියේ?’ කියලා.” යනුවෙන්. මෙහෙයුම සාර්ථක වුවහොත්, මෝරුප්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරයද පවුලේ සාමාජිකයන් දැනටමත් සැලසුම් කර තිබෙනවා. ඔහුගේ නම සදාකාලිකව ඉතිහාසයට එක් කළ “ලා කොළ පැහැති බූට් යුගළ” පවුලේ උරුමයක් ලෙස සුරක්ෂිතව තබා ගැනීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. .
Google AdSense
In-Article Ad

