
අයවැය අපි කී ලෙස හදලාදැයි තදින් බලනවා.. ඊළග වාරිකය දීම නොදීම ඒ අනුවයි..- IMF
FM Heart · 2 min read
ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 7 වැනිදා නියමිත කාලවේලාවට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය පියවර ගැනීම ජාත්යන්තර මූල්ය අරමුදලේ පැසසුමට ලක්වන බව දූත මණ්ඩල ප්රධානියා පෙන්වා දුන්නේය. ශ්රී ලංකාවට ලබාදී ඇති අරමුදල් වැඩසටහනට අදාළ සමාලෝචනය සාර්ථකව නිම කරමින් පසුගිය 4 වැනිදා ශ්රී ලංකා බලධාරීන් සහ ජාත්යන්තර මූල්ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹි බව සිහිපත් කළ ඒ මහතා, එම එකඟතාව ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නම්, මුදල් අමාත්යාංශය විසින් ඉදිරිපත් කරන ලබන වසරේ අයවැය කෙටුම්පත අදාළ වැඩසටහනේ මූල්ය ඉලක්කයන්ට අනුකූල විය යුතු බව අවධාරණය කළේය. රාජ්ය මූල්ය විනය සහ ණය තිරසරභාවය අඛණ්ඩව සුරක්ෂිත කරගැනීම සඳහා ලබන වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාම අතිශයින් තීරණාත්මක බව පැපජෝර්ජියෝ මහතා පෙන්වා දුන්නේය. රජයට සිය ණය සේවාකරණ වගකීම් නිසි පරිදි ඉටුකරන අතරතුර සමාජ සුබසාධන වියදම් පියවීම, ස්වභාවික ආපදාවලින් පසු නැවත ගොඩනැගීමේ ඵලදායී ප්රාග්ධන ආයෝජන සිදුකිරීම සහ අත්යවශ්ය ආනයන සඳහා ප්රතිපාදන වෙන්කිරීමට ප්රමාණවත් රාජ්ය මූල්ය ඉඩකඩක් පවත්වාගත හැක්කේ රාජ්ය ආදායම් එකතු කිරීමේ ක්රියාවලිය අඛණ්ඩව ශක්තිමත්ව පවත්වාගෙන යාමෙන් පමණක් බව හෙතෙම සඳහන් කළේය. රජය විසින් නව බදු හඳුන්වාදීම, පවතින බදු අනුපාත අඩු කිරීම හෝ බදු සහන ලබාදීම සම්බන්ධයෙන් ගන්නා ඕනෑම තීරණයක් මධ්යකාලීන රාජ්ය ආදායම් උපායමාර්ගයක් මත දැඩිව පදනම් විය යුතු බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ස්ථාවරය බව දූත මණ්ඩල ප්රධානියා පැහැදිලි කළේය. එහිදී බදු අනුපාත ඉහළ දැමීමට වඩා, බදු දැල පුළුල් කිරීම, බදු ගෙවීමට අනුකූල වන පිරිස වැඩි කිරීම සහ අක්රමවත් බදු නිදහස් කිරීම් හා දිරිගැන්වීම් තාර්කික කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඒ හරහා වඩාත් කාර්යක්ෂම, පුරෝකථනය කළ හැකි සහ සාධාරණ බදු පද්ධතියක් ගොඩනැගීම මෙන්ම මූල්ය ස්ථාවරත්වය තහවුරු කරගැනීම අරමුණ විය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

