FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජනාධිපති ධුර කාලය පහද ? හයද ? .. තවත් නීති අවුලක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් පවතින නෛතික පරස්පරතාවන් හේතුවෙන් බරපතල ව්‍යවස්ථාපිත අර්බුදයක් නිර්මාණය වී ඇති බව නීතිඥ අරුණ ලක්සිරි මහතා පවසයි. ඔහු මේ බව අවධාරණය කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. නීතිඥවරයා පෙන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින දෝෂයක් නිවැරදි කිරීම සඳහා 2024 ජූලි මස 18 වන දින නීතිපතිවරයාගේ උපදෙස් මත විශේෂ සංශෝධන කෙටුම්පතක් ගැසට් පත්‍රයේ පළ කර ඇති බවයි. එහෙත් එම දෝෂය නිසි ලෙස නිරාකරණය නොකර තවත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නෛතික ගැටලු රැසකට මග පාදන බව ඔහු පවසයි. මෙහි ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් අතර පවතින අර්ථකථන වෙනසයි. සිංහල පිටපතට අනුව ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයකට වඩා වැඩි කිරීම හෝ අඩු කිරීම යන අවස්ථා දෙකේදීම ජනමත විචාරණයකට යාම අනිවාර්ය වේ. එහෙත් ඉංග්‍රීසි පිටපතේ 83(b) වගන්තියට අනුව ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ ධුර කාලය වසර හයකට වඩා වැඩි කරන්නේ නම් පමණි. ශ්‍රී ලංකාවේ නීතියට අනුව කථානායකවරයාගේ අත්සනින් සහතික කර ඇති සිංහල පිටපත ප්‍රමුඛත්වය ගන්නා බැවින්, මෙම පරස්පරතාවය නිරාකරණය කිරීම අත්‍යවශ්‍ය බව ලක්සිරි මහතා පෙන්වා දෙයි. 2015 වසරේ සිදුකළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මෙම කරුණ කෙරෙහි නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පවා ඉංග්‍රීසි පිටපත පදනම් කරගෙන තීන්දු ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර ඇති අතර, මෙම නෛතික ගැටලුව නිරාකරණය නොකර ඉදිරියට යාමෙන් ජනාධිපති ධුර කාලය වසර පහක් ද නැතහොත් හයක් ද යන්න පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය තවදුරටත් වර්ධනය වන බව නීතිඥ අරුණ ලක්සිරි මහතා අවධාරණය කරයි.

Google AdSense

In-Article Ad