
ලීසිං ඇරියස් කියා සමාගම්වලට මහ මග වාහන පැහැරගනීම තහනම්..- පොලිසියෙන් නිවේදනයක්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතට අනුකූලව කල්බදු සහ මූල්‍ය සමාගම් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සහ ඊට අදාළ නෛතික විධිවිධාන සම්බන්ධයෙන් මේ වන විටත් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, බදු දීමනාකරු හෝ ඔහුගේ බලයලත් නියෝජිතයකු විසින් පූර්‍ව දැනුම්දීමක් සිදු කර පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටින අවස්ථාවලදී පොලිසිය මැදිහත් වන්නේ සාමය ආරක්ෂා කිරීම සඳහා පමණක් බවයි. කිසිදු අවස්ථාවක වාහන හෝ උපකරණ අත්පත් කරගැනීමේ කාර්‍යය සඳහා පොලිස් නිලධාරීන් සෘජුව මැදිහත් නොවන බව ද එහි සඳහන් වේ. අදාළ දේපළෙහි සන්තකය ලබාගැනීමට බදු දීමනාකරුට හැකියාව ලැබෙන්නේ බදු ගැණුම්කරුගේ කිසිදු විරෝධතාවක් නොමැති විට පමණි. යම් හෙයකින් ඊට විරෝධතාවක් එල්ල වන්නේ නම්, බලහත්කාරයෙන් දේපළ අත්පත් කරගැනීමට උත්සාහ නොකර අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දිසා අධිකරණය හමුවේ නඩු පැවරිය යුතුය. මෙම නීතිමය ක්‍රමවේදයට පටහැනිව කටයුතු කිරීම බදු දීමනාකරු හෝ ඔහුගේ නියෝජිතයන් විසින් සිදු කරනු ලබන වරදක් බව පොලිසිය පෙන්වා දෙයි. මෙම ක්‍රමවේදය උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් බදු ගැණුම්කරුවන් ඉදිරිපත් කරන පැමිණිලි විභාග කිරීමට සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබේ. එම විමර්‍ශනවලදී කොල්ලකෑම, සොරකම හෝ අයුතු ඇතුළුවීම වැනි අපරාධ වැරදි අනාවරණය වුවහොත් ඊට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය අනතුරු අඟවයි. මේ අතර, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ වන ගිවිසුම්වලදී සාමය ආරක්ෂා කිරීමට පමණක් පොලිස් නිලධාරීන්ට මැදිහත් විය හැකි වුවද, 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනත යටතේ ගැනෙන කුලී සින්නක්කර ගිවිසුම්වලට (Hire Purchase) එලෙස මැදිහත් වීමට කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැති බව ද පොලිසිය විශේෂයෙන් පෙන්වා දෙයි. එබැවින්, මූල්‍ය සහ කල්බදු සමාගම් හරහා ඇති කරගත් එකඟතාවලට හා නීතිමය රාමුවට ගරු කරමින්, සාමය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලු පාර්‍ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
Google AdSense
In-Article Ad

