FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ්‍රී ලංකාවේ ආයෝජන අභියෝගාත්මකයි.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්..- ඇමෙරිකාවෙන් වාර්‍තාවක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්‍තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 Sri Lanka Investment Climate Statement මඟින් මේ බව අනාවරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික ජන බලවේගය අගභාගයේදී ලබාගත් තුනෙන් දෙකක පාර්‍ලිමේන්තු ජයග්‍රහණය තුළින් මෙරට දේශපාලන ස්ථාවරත්වයක් නිර්‍මාණය වී ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඩොලර් බිලියන 3ක විස්තීර්‍ණ ණය පහසුකමට රජය දක්වන කැපවීම ආයෝජකයන්ගේ විශ්වාසයට හේතු වී ඇති බවත් වාර්‍තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, වෙළෙඳපොළ විවෘතභාවය සහ රාජ්‍ය මැදිහත්වීම් පිළිබඳව රජයේ නායකත්වයෙන් නිකුත් වන පරස්පර ප්‍රකාශ හේතුවෙන් ආයෝජකයන් තවමත් දැඩි විමසිල්ලකින් හා දෙගිඩියාවකින් පසුවන බව එම වාර්‍තාව අවධාරණය කරයි. රජයේ ප්‍රතිපත්තිමය වෙනස්වීම් සහ ගිවිසුම් යළි සාකච්ඡා කිරීමට දැරූ උත්සාහයන් හේතුවෙන් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ව්‍යාපෘති කිහිපයක්ම අඩාල වී ඇති බව ඇමෙරිකානු වාර්‍තාව පෙන්වා දෙයි: 2025 වසරේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ඩොලර් බිලියන 1.06ක සෘජු විදේශ ආයෝජන (FDI) ප්‍රමාණයක් පමණක් වන අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 1%ක් තරම් අගයකි. නැඟී එන ආර්‍ථිකයන් සාමාන්‍යයෙන් 3% සිට 4% දක්වා ආයෝජන ආකර්‍ෂණය කරගන්නා පසුබිමක ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ ඉතා පහළ මට්ටමකය. නිෂ්පාදන, වරාය සංවර්‍ධන, සංචාරක, තොරතුරු තාක්ෂණ සහ දේපළ වෙළෙඳාම් යන ක්ෂේත්‍ර මෙම ආයෝජනවලින් වැඩි ප්‍රමාණයක් දිනාගෙන තිබිණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සියලු සේවාවන් එක් වහලක් යටින් ලබාදෙන ආයතනයක් (One-stop shop) ලෙස නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, රේගුව සහ වරාය අධිකාරිය ඇතුළු ප්‍රධාන ආයතනවල ඩිජිටල්කරණය ප්‍රමාද වීම සහ දැඩි නිලධාරිවාදය විදේශ ආයෝජකයන් අධෛර්‍යමත් කිරීමට හේතු වී තිබේ. මෙම අභියෝග මධ්‍යයේ වුවද, 2025 වසරේදී 5%ක ආර්‍ථික වර්‍ධනයක් අත්පත් කර ගැනීම, උද්ධමනය පාලනය වීම, විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 8.1ක වාර්‍තාගත අගයක් ගැනීම, නිල විදේශ සංචිත ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළ යාම සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්‍ධනයක් පෙන්නුම් කිරීම ආර්‍ථිකයේ සුබවාදී ලක්ෂණ ලෙස ඇමෙරිකානු වාර්‍තාවේ ඇගයීමට ලක්ව ඇත. කෙසේ වෙතත්, ඉදිරියේදී සැබෑ ආයෝජන ආකර්‍ෂණය කරගැනීමට නම්, ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය, කඩිනම් තීන්දු ගැනීමේ හැකියාව, දූෂණය පිටුදැකීම සහ විදේශ වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම අත්‍යවශ්‍ය බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්‍තමේන්තුව සිය වාර්‍තාව මඟින් අවධාරණය කර සිටී.

Google AdSense

In-Article Ad