FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල්ට චෝදනා පත්‍රයක් නෑ.. නඩු විභාගයක් නෑ.. හැබැයි හිරේ තියන් ඉන්නවා..

FM Heart · 7 min read

Google AdSense

After Featured Image

ඔහු මේ බව ප්‍රකාශ කලේ "යුක්තිය වෙනුවෙන් නැගිටිමු"සම්මන්ත්‍රණ මාලාවට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා, "මේ රටේ යුක්තිය ගැන හඬගාලා කියන්න සම්මන්ත්‍රණ මාලාවක් ලෑස්ති කරලා තියෙනවා. අපේ පක්ෂයේ ඒක පළවෙනි සම්මන්ත්‍රණය. ඉතාම සාර්‍ථකව අද දින කළුතර දිස්ත්‍රික්කයේ පැවැත්වීම සම්බන්ධයෙන් මුලින්ම පක්ෂය වෙනුවෙන් සංජීව එදිරිමාන්න මැතිතුමා ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකයින්ට පක්ෂයේ ප්‍රණාමය පුද කර සිටිනවා. ​මේ අපි කතා කරන්නේ මේ රටේ නීතිය සුරැකීම, එහෙම නැත්නම් අපේ හාමුදුරුවනේ නීතියේ ආධිපත්‍යය ගැන. ​මේ රටේ නීතිය කියන දේ ගත්තොත්, ඒ නීතියේ තියෙනවා ආයතන කීපයක්. නීතිය සම්බන්ධයෙන් විමර්‍ශනය කරන්න ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා පොලීසිය සහ අල්ලස් කොමිෂන් සභාව. ඊළඟට අධිකරණය තියෙනවා. අධිකරණයට සහය වීම සඳහා තියෙනවා නීතිපති දෙපාර්‍තමේන්තුව. ඊට පස්සේ කිසියම් පුද්ගලයෙක් වැරදිකරුවෙක් වුණොත්, ඒ දඬුවම් පැමිණවීම සඳහා තියෙනවා බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව. මෙන්න මේ ආයතන ටික හරහා තමයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ​එතකොට මේ නීතිය ක්‍රියාත්මක වෙන ආයතන කියන්නේ දේවාලයක් වගේ පාරිශුද්ධව තියෙන්න ඕන තැන් ටිකක්. ඒක නිසා තමයි රටක නීතිය ක්‍රියාත්මක වෙන ආයතනවල කිසිම නිලධාරියෙක්ට දේශපාලන අයිතියක් නැත්තේ. පොලීසියේ, ඒ වගේම අධිකරණයේ, මේ නිලධාරීන්ට දේශපාලන හිමිකම් නැහැ. මොකද ඔවුන්ට දේශපාලනය අයිති නැති නිලධාරීන්. ඔවුන් මේ රටේ සියලු ජනතාවට, ඔවුන්ගේ දේශපාලන මතයද, ආගමද, ඔහු විශ්වාස කරන කිසිම දෙයක් ගැන බලන්නේ නැතුව සර්‍ව සාධාරණව නීතිය ඉෂ්ට කරන්න බැඳෙන්න ඕන නිසා. ​දැන් අපි ගමු ලංකාවේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපේ හාමුදුරුවනේ අපේ පොලීසිය. අපේ පොලීසියේ අපරාධ විමර්‍ශන දෙපාර්‍තමේන්තුවේ ප්‍රධානියා හැටියට ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ, මාලිමාවේ වේදිකාවේ කටයුතු කරපු පුද්ගලයෙක්. පොලීසියෙන් විශ්‍රාම ගිහිල්ලා මාලිමාවේ වේදිකාවට වෙලා මේ පක්ෂය දිනවන්න කටයුතු කරපු පුද්ගලයෙක්ව අනුර කුමාර දිසානායක ජනාධිපති ජනාධිපති වුණාට පස්සේ කැබිනට් පත්‍රිකාවක් තුළින් නැවත සේවයට අරගෙන පොලීසියේ ප්‍රධානම දෙපාර්‍තමේන්තුවේ ප්‍රධානියා හැටියට පත් කරනවා. ​දැන් මෙතන කොහෙද නීතියක් තියෙන්නේ? නීතිය ක්‍රියාත්මක වීමේ සාධාරණත්වයක් තියෙන්නේ? ​ඊළඟට අනිත් එක තමයි අල්ලස් කොමිසම, එහෙම නැත්නම් අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව. මේක බොහොම ශක්තිමත්ව බලතල සහිතව නිර්‍මාණය කරපු දෙයක් මේ රටේ අල්ලස සහ දූෂණය මර්‍දනය කරන්න. මේ අල්ලස සහ දූෂණය මර්‍දනය කරන්න නිර්‍මාණය කරපු මේ ආයතනයේ ප්‍රධානම චරිතය වෙන අධ්‍යක්ෂ ජෙනරාල් චරිතයට පත් කරගන්නවා මේ ආණ්ඩුව ආපු වහාම වත්මන් ඔය රංග දිසානායක කියන පුද්ගලයා. ​ඔහු පත් වෙලා ඉතාම කෙටි කාලෙකින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් නන්දන ගුණතිලක මහතා කියනවා, 'මොහු දේශපාලනයෙන් වියුක්ත පුද්ගලයෙක් නෙමෙයි. මොහු සක්‍රීයව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ යෙදිච්ච අපේ නීති අංශයේ වැඩ කරපු පුද්ගලයෙක්' කියලා. 'මගේ ළඟ ඕන නම් ලිඛිත සාක්ෂි තියෙනවා' කියලත් කියනවා. ​දැන් මේ වගේ මේ දේවාලයක් වගේ හදපු ආයතනයක ප්‍රධානියෙක්ට මෙහෙම චෝදනාවක් ආවහම මේක බොරු නම් ඔහු කරන්න ඕනේ වහාම මේකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්‍ග ගන්න එක. ඔහු කිසිම නීතිමය ක්‍රියාමාර්‍ගයක් ගන්නේ නැහැ. හැබැයි නන්දන ගුණතිලක මහතා ඉතාම අභිරහස් ආකාරයට මරණයට පත් වෙනවා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදටත් කටයුතු කරනවා. ​හැබැයි ඔහුට විරුද්ධව පුද්ගලයෙක්, ඔහු විසින් නඩු පවරපු පුද්ගලයෙක් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් දෙනවා, 'මාව කාමරයට එක්කන් ගිහිල්ලා, මට මරණ තර්‍ජන කරලා, මහින්ද රාජපක්ෂගේ, නාමල් රාජපක්ෂගේ නම ලියලා අත්සන් කරපන් කියලා බලහත්කාරයෙන් මගෙන් අත්සන ගත්තා' කියලා. අද වෙනකල් ඒක ගැන විමර්‍ශනයක් නැහැ. ​හැබැයි මෙන්න මේක තමයි මේ ලංකාවේ නීතිය අවභාවිතා කරන ආකාරය මේ රජය විසින්. ​ඊට පස්සේ මේ දඬුවම් ලබා දෙන්න තියෙන බන්ධනාගාර දෙපාර්‍තමේන්තුවේ ප්‍රධානියා, තුෂාර උපුල්දෙණිය මහත්තයා. එතුමා ඉතාම සාධාරණව කිසිම පක්ෂයකට සම්බන්ධ නැතුව අවංකව රාජකාරි කරපු නිලධාරියෙක්. ඔහුව ඉවත් කරනවා. ආපු ගමන් ඔහුව ඉවත් කරනවා. ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට ගිහිල්ලා මේ පිළිබඳ පැමිණිල්ලක් කරනවා. ඒ පැමිණිල්ලට මානව හිමිකම් කොමිෂන් සභාව විමර්‍ශනයක් කරලා අධිකරණ අමාත්‍යාංශයට නියෝග කරනවා මේ ඉවත් කිරීම වැරදියි, වහාම මෙතුමාව සේවයේ පිහිටුවන්න කියලා. දැන් ඒ නියෝගය දීලා මං හිතන්නේ මාස හයක් විතර වෙනවා, අද වෙනකල් අධිකරණ අමාත්‍යාංශය ඒක ක්‍රියාත්මක කරලා නැහැ. ඒ කියන්නේ ඒ ස්ථාන වල තමන්ට අවශ්‍ය පුද්ගලයින් තබාගෙන ඉන්නවා. ​නාමල් රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම. අපේ හාමුදුරුවනේ, මේක ගැන කතා නොකර අපිට මේ වෙලාවේ මේ රටේ නීතිය, යුක්තිය ගැන කතා කරන්න බැහැ. අවුරුදු 13කට කලින් වෙච්ච සිදුවීමක්. ඒ සිදුවීමේ අවුරුදු 13කට කලින් පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධයි. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ යන අතරේ ඒ එක් පුද්ගලයෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. ඔහුගෙන් ප්‍රකාශයක් ගන්නවා, 'මම නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මේසයේ මෙන්න මෙච්චර සල්ලි ප්‍රමාණයක් තිබ්බා' කියලා. ඒක උඩ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහතිකයක් නිකුත් කරනවා නාමල් රාජපක්ෂ මැතිතුමාට මහේස්ත්‍රාත්තුමාට ඇප ලබා දිය නොහැකි ලෙස එතුමාව බන්ධනාගාරගත කරන්න. ​දැන් මෙතන කොහෙද යුක්තියක් තියෙන්නේ? මේ රටේ කොහෙද සාධාරණත්වයක් තියෙන්නේ? ​ඇයි අපිට නීතියක් ඕනේ? අපිට නීතියක් අවශ්‍ය මොකද? අපි දැක්කා 1987, 88, 89 කාලයේ මේ රටේ නීතියක් තිබුණේ නැහැ. මේ රටේ යුක්තියක් තිබුණේ නැහැ. හවසට කුප්පි ලාම්පුව පත්තු කරන්න එපා කිව්වා, ගෙදර ලයිට් එක දාන්න එපා කිව්වා. දැම්මද ගෙදෙට්ට ඇවිල්ලා වෙඩි තියලා මැරුවා. අන්න ඒ විදිහටයි නීතිය ක්‍රියාත්මක කළේ. ඡන්දේ දාන්න යන්න එපා කිව්වා, ඡන්දේ දාන්න ගිය මිනිස්සුන්ගේ අත් කැපුවා. මේ ආකාරයට තමයි. කඩ අරින්න එපා කියලා තුන්ඩු කෑල්ල යැව්වේ. ඔබවහන්සේලාට මතක ඇති අපේ හාමුදුරුවනේ මුළු ටවුම් පිටින් වහලා තිබුණා, මළගෙවල් වගේ තිබුණා. මේක තමයි නීතිය නැති රටක වෙන්නේ. ​රටක නීතියක් ඕනේ, අපිට නීතිය වටින්නේ ඇයි? අද මෙතන ඉන්න දෙමාපියන්ගේ අහිංසක තරුණ දූවරු ටියුෂන් ක්ලාස් එකකට ගිහිල්ලා හවසට ගෙදර එනකොට ඔබලා බය නැතුව ගෙදරට වෙලා ඉන්නේ මේ රටේ නීතියක් තියෙනවා කියලා දන්න හින්දා. කාටවත් ඔවුන්ට කරදරයක් කරන්න බැහැ, ක්‍රියාත්මක වෙන නීතියක් තියෙනවා කියලා දන්න හින්දා. මෙතන ඉන්න අම්මලා තාත්තලාගේ තරුණ පුත්තු තරුණ ජවය එක්ක එළියට ගිහිල්ලා සමාජය එක්ක ගැටෙනකොට බය නැතුව ගෙදරට වෙලා ඉන්නේ දන්නවා මේ රටේ නීතියක් තියෙනවා, එහෙම ඒගොල්ලොන්ට කාටවත් කරදරයක් කරන්න බැහැ කියලා. ​හැබැයි මේ මොකක්ද කරන්න හදන්නේ? අද නාමල් රාජපක්ෂට තියපු අත හෙට ඔබගේ පුතාට තියෙන එකක් නැහැ කියලා තියෙන ඒ විශ්වාසනීයත්වය මොකක්ද? ගමේ ඉන්න ජේවීපී සමිතියේ ඒ අර කුහකයා, ඔබගේ දරුවා එක්ක පාරේ, ඔබේ තරුණ පුතා එක්ක පාරේ රණ්ඩුවක් වෙලා ඔහුට ඕන විදිහට ඔබේ දරුවා හැසිරුණේ නැත්නම් ඒ නීතිය ක්‍රියාත්මක කිරීම කොයි ආකාරයට වෙයිද කියන කාරණය සම්බන්ධයෙන් මොකක්ද තියෙන ඒ ගැරන්ටිය? මොකක්ද තියෙන ඒ ආරක්ෂණය? ඔබගේ තරුණ දියණිය එළියට ගියාම ගමේ ඉන්න ජේවීපී කාරයාට ඒ කෙල්ල ගැන හිතක් පහළ වුණොත් එයා නිරුපද්‍රිතව ගෙදර එයි කියලා තියෙන මොකක්ද ආරක්ෂණය? මෙන්න මේ ආරක්ෂණයට තමයි අපිට මේ රටේ නීතිය තියෙන්න ඕනේ. ​ඒක නිසා තමයි අපි නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියන්නේ, ලම්බට තියපු අත පුහුලටත් තියෙනවා අපේ හාමුදුරුවනේ. මෙන්න මේ කාරණය නිසා තමයි රටක නීතියක් තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණය නිසා තමයි මේ රටක නීතිය පැතිරෙන්න ඕනේ. ​නාමල් රාජපක්ෂ කෙඳිරි ගාන්නේ නැහැ. අපි කෙඳිරි ගාන්නේ නැහැ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙනවා. විමර්‍ශනය කරලා, චෝදනාව පහදලා දීලා, චෝදනා පත්‍රයක් දීලා, යම්කිසි නඩු විභාගයක් පවත්වල, සාධාරණ නඩු විභාගයක් පවත්වල, ඒ තුළින් සාක්ෂි ලැබෙනවා නම් චූදිතයා දඬුවම් කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂට තියෙන චෝදනා මොනවාද කියලා කියලා දීලා තියෙනවාද? නැහැ. චෝදනා පත්‍රයක් දීලා තියෙනවාද නාමල් රාජපක්ෂට? නැහැ. නාමල් රාජපක්ෂට විරුද්ධව නඩු විභාගයක් කරලා තියෙනවාද? නැහැ. හැබැයි හිරේ ඇතුලේ තියන් ඉන්නවා. මෙන්න මේක තමයි අපි කියන අයුක්තිය. මෙන්න මේක තමයි අපි කියන අසාධාරණය. ​හැබැයි මේ අද නාමල් රාජපක්ෂට කරන අසාධාරණය හෙට අපේ පන්සලේ හාමුදුරුවන්ට නොකරයි කියලා මොකක්ද තියෙන ආරක්ෂණය? හෙට ඔබේ තරුණ දරුවාට නොකරයි කියලා මොකක්ද තියෙන ආරක්ෂණය? මෙන්න මේක තමයි මේ සමාජයේ තියෙන ප්‍රශ්නය. අපි හැමෝම නැගී සිටින්න ඕනේ පොහොට්ටුව වෙනුවෙන්වත් නාමල් රාජපක්ෂ වෙනුවෙන්වත් නෙමෙයි. මේ රටේ නීතිය සුරැකීම, නීති අයිතිය ආරක්ෂා කරගෙන ඉන්න වෙනුවෙන් අපි ඔබම පුරවැසියන් හැටියට නැගී සිටින්න ඕනේ. ​ පූජකවරයෙක් මීට කාලෙකට ඉහත කියපු කතාවක් කියලා මං ඔබගෙන් සමුගන්නම්. ඔහු කිව්වා: 'ඔවුන් පළමුව කොමියුනිස්ට්කාරයින් සොයාගෙන පැමිණියා. මම කොමියුනිස්ට්කාරයෙක් නොවන නිසා මා නිශ්ශබ්දව සිටියා. ඔවුන් ඊට පසු සමාජවාදීන් සොයාගෙන පැමිණියා. මා සමාජවාදියෙක් නොවන නිසා මා නිශ්ශබ්දව සිටියා. ඔවුන් ඊළඟට වෘත්තීය සමිති නායකයින් සොයාගෙන පැමිණියා. මා වෘත්තීය සමිති නායකයෙක් නොවන නිසා මා නිශ්ශබ්දව සිටියා. ඔවුන් ඊළඟට යුදෙව්වන් සොයාගෙන පැමිණියා. මා යුදෙව්වෙක් නොවන නිසා මා නිශ්ශබ්දව සිටියා. ඊළඟට ඔවුන් පැමිණියේ මා සොයාගෙන. හැබැයි එවිට මා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙක් ඉතිරි වී සිටියේ නැත.'

Google AdSense

In-Article Ad