FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉහලම ලොක්කෙකුට මත්පැන් සමාගමකින් සැප රියක්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

සමාජ ක්‍රියාකාරිකයකු වන කැළුම් අමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳ කරුණු අනාවරණය කළේය. එහිදී ඔහු සඳහන් කළේ, සුරාබදු දෙපාර්‍තමේන්තුව යටතේ නියාමනය වන මත්පැන් සමාගමක් මගින් ලබාදී ඇති බවට සැකකෙරෙන 'CBQ 2879' දරන 'හොන්ඩා වෙසල්' වර්‍ගයේ නවීන මෝටර් රථයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය පුත්‍රයා විසින් මේ වන විට පරිහරණය කරනු ලබන බවයි. එම රථය කොමසාරිස් ජනරාල්වරයා සිය පෞද්ගලික ධනයෙන් හෝ නීත්‍යනුකූල ආදායම් මාර්‍ගයකින් උපයා ගත් එකක් නම්, ඔහු සිය ධුරයට පත්වීමට පෙර රජයට භාරදුන් වත්කම් හා බැරකම් ප්‍රකාශයේ එය අනිවාර්‍යයෙන්ම සඳහන් විය යුතු බව අමරසිංහ මහතා පෙන්වා දුන්නේය. එසේ නොමැති නම් සමාජ මාධ්‍ය මගින් අනාවරණය වී ඇති පරිදි මෙය අල්ලසක් ලෙස ලබාගෙන ඇති බවට සාධාරණ සැකයක් මතුවන බව හෙතෙම කියා සිටියේය. රජයේ වගකිවයුතු අමාත්‍යවරුන් විවිධ රූපවාහිනී වැඩසටහන්වලදී දූෂණ වංචා පිළිබඳ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් අල්ලස් කොමිසම හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව වෙත ගොස් පැමිණිලි කරන ලෙස කළ ප්‍රකාශ සැලකිල්ලට ගනිමින්, වගකිවයුතු පුරවැසියකු ලෙස තමන් මෙම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු තමන් මෙවැනි බරපතළ වංචා දූෂණ පිළිබඳ පැමිණිලි 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් අදාළ විමර්‍ශන අංශ වෙත යොමු කර ඇති බව ද ඔහු පැවසීය. මෙම චෝදනාව එල්ල වී ඇත්තේ රාජ්‍ය සේවයේ දැනට රැඳී සිටින ඉහළම නිලධාරියෙකුට බැවින්, එම පැමිණිල්ල ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියට ගෙන කිසිදු ප්‍රමාදයකින් තොරව කඩිනමින් විමර්‍ශනයක් ආරම්භ කරන ලෙස තමන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටි බව කැළුම් අමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad