FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහානායක උන්නාන්සේ මුණගැහෙන්න ගිහින් කිරිඇල්ල ‘මහ ජාතිය’ ‘සුළු ජාතිය’ කිව්වාට මනෝට යකා නගී - හැරෙන තැපෑලෙන් සජිත්ට ලියයි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

දෙමළ සහ මුස්ලිම් ජනසමාජය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ යැයි කියන අදහස්වලට විරෝධය පළ කරමින්, පක්ෂය තුළ සමාන සාමාජිකත්වය සහ ගෞරවය පිළිබඳ මූලධර්‍ම සුරකින ලෙස දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්‍ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියේය. සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසක් සහ මල්වතු පාර්‍ශවයේ අතිපූජ්‍ය මහානායක හිමියන් අතර මහනුවරදී පැවැති හමුවකදී ලක්ෂ්මන් කිරිඇල්ල සිදුකළ බව කියන ප්‍රකාශ සම්බන්ධයෙන් කණගාටුවට පත් වූ බව දක්වමින් මනෝ ගනේෂන් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර ඇත. මීට අමතරව තමන් විපක්ෂ නායකවරයා වෙත ඍජුව ද සිය කනගාටුව පළ කළ බව මනෝ ගනේෂන් පැවසීය. සමගි ජන බලවේගයේ නියෝජිත පිරිස රටේ බෞද්ධ ආගමික නායකත්වය හමුවී සාකච්ඡා කිරීම අගය කරන අතරම, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීම රජය විසින් දෙමළ කතාකරන ජනතාව සහ සිංහල බෞද්ධ නොවන අනෙකුත් පිරිස් සතුටු කිරීමට යොදාගන්නා බවට කිරිඇල්ල සිදු කළ බව කියන ප්‍රකාශය කෙරෙහි මනෝ ගනේෂන් සිය දැඩි විරෝධය පළ කළේය. එමෙන්ම, සුළුතර සහ බහුතර ජනකොටස් වෙන කර දැක්වීම සඳහා “සුළු ජාති” සහ “මහ ජාති” යන යෙදුම් භාවිතා කිරීම ද හෙළා දුටු මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාව මෙවැනි වචන භාවිතයෙන් ඔබ්බට යා යුතු බව පෙන්වා දුන්නේය. මෙම ප්‍රකාශ නිවැරදිව වාර්‍තා වී ඇත්නම්, එමගින් ජාතිවාදී බෙදීම් තවදුරටත් තහවුරු වන අතර, රටේ බහු ජාතික සමාජයේ සම අයිතිකරුවන් වන දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ගෞරවයට ද හානි සිදුවන බව මනෝ ගනේෂන් සඳහන් කළේය. රටේ ජ්‍යෙෂ්ඨතම බෞද්ධ ආගමික නායකත්වය සමඟ පැවැති සාකච්ඡාවකදී මෙවැනි භාෂාවක් භාවිත කිරීම විශේෂයෙන් කනගාටුදායක බව ද ඔහු ප්‍රකාශ කළේය. ඥානසාර හිමියන්ගේ බන්ධනාගාර ඇඳුම් පිළිබඳ මතභේදය ඇතුළු උන්වහන්සේට එරෙහි නීතිමය ක්‍රියාමාර්‍ග සහ මෙම අදහස් දැක්වීම් දෙකක් ලෙස සැලකිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධාන නායකයා වැඩිදුරටත් පවසයි. එම සිරදඬුවම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මනෝ ගනේෂන් කියා සිටියේ නීතියේ ආධිපත්‍යය ප්‍රමුඛව පැවතිය යුතු බවත්, ඒ මත පදනම්ව තමන් ඇතුළු පිරිස අධිකරණ තීන්දුව ප්‍රශ්න කිරීමෙන් වැළකී සිටි බවත්‍ය.

Google AdSense

In-Article Ad